Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුශූරතා හතරකින් පසු කුළුඳුල් WPL කිරුළ සොයන දිල්ලි කැපිටල්ස් මහේල ජයවර්ධනගේ පිහිට පතයි

12 hours ago

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, 2027 වසරේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියට පෙර දිල්ලි කැපිටල්ස් (Delhi Capitals) කාන්තා කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා (Director of Cricket) ලෙස පත් කර තිබේ. කණ්ඩායම් උපායමාර්ග, දක්ෂතා හඳුනා ගැනීම සහ ක්‍රීඩිකාවන්ගේ මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලයේ සංවර්ධනය ඇතුළු කණ්ඩායමේ සියලුම ක්‍රිකට් කටයුතු අධීක්ෂණය කිරීම ඔහුට පැවරී ඇති බව එම කණ්ඩායම නිවේදනය කළේය.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සම-හිමිකාරීත්වය දරන GMR Sports ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය යටතේ මහේල ජයවර්ධනට මෙම වගකීම හිමිව තිබේ. ඒ අනුව ඔහු ILT20 තරගාවලියේ ‘ඩුබායි කැපිටල්ස්’ (Dubai Capitals) සහ The Hundred තරගාවලියේ ‘සදර්න් බ්‍රේව්’ (Southern Brave) යන කණ්ඩායම්වල ද මෙම තනතුරේ කටයුතු කරනු ඇත. එමෙන්ම, 2024 වසරේදී GMR සමූහය විසින් මිලදී ගත් එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ජයිල්ස් වයිට් සමඟ ද ඔහු සමීපව කටයුතු කිරීමට නියමිතය.

2012 සහ 2013 IPL තරගාවලිවලදී ‘දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්’ කණ්ඩායම නියෝජනය කරමින් (2013 වසරේ නායකයා ලෙස ද කටයුතු කරමින්) වසර 13කට පසු මහේල නැවතත් දිල්ලි කඳවුර හා එක්වීම විශේෂත්වයකි. මෑතකදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වූ ඔහු, 2017, 2019 සහ 2020 වසරවලදී එම කණ්ඩායමට IPL ශූරතා තුනක් දිනා දීමට සමත් විය.

මහේල ජයවර්ධනගේ අදහස්

“දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ශක්තිමත් අනන්‍යතාවක් වගේම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව සුවිශේෂී දැක්මක් තිබෙනවා. WPL කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය භාර ගැනීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. දක්ෂ ක්‍රීඩිකාවන් පිරිසක් සහ අත්දැකීම් බහුල සහායක කාර්ය මණ්ඩලයක් සමඟ වැඩ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. කණ්ඩායමේ දැනට පවතින ශක්තීන් තවදුරටත් වර්ධනය කරමින්, ස්ථාවර දක්ෂතා පෙන්වා ශූරතාව වෙනුවෙන් තරග කිරීම මගේ ප්‍රධාන අරමුණයි.”

දිල්ලි කැපිටල්ස් සම-හිමිකරුවන් වන කිරන් කුමාර් ග්‍රාන්ධි සහ පාර්ත් ජින්ඩාල් ද මහේලගේ ආගමනය උණුසුම් ලෙස පිළිගෙන ඇති අතර, ඔහු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජොනතන් බැටී සහ නායිකා ජෙමීමා රොඩ්‍රිගස් සමඟ එක්ව කටයුතු කරනු ඇත. මහේලගේ අත්දැකීම් සහ නායකත්වය කාන්තා කණ්ඩායම මීළඟ අදියර කරා රැගෙන යාමට විශාල ශක්තියක් වනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මෙතෙක් පැවති WPL තරගාවලි හතරේදීම අනුශූරයන් වීමට සිදු වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට සිය කුළුඳුල් ශූරතාව දිනා ගැනීම සඳහා මහේලගේ ජයග්‍රාහී අත්දැකීම් ලබා දීම ඔහුට පැවරී ඇති ප්‍රධාන වගකීමයි. WPL තරගාවලියේ පස්වන අදියර 2027 ජනවාරි 14 වන දින ආරම්භ වීමට නියමිත අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සිය පළමු තරගයට ජනවාරි 16 වන දින වඩෝදරා (Vadodara) හිදී වත්මන් ශූරියන් වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.