සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ තුන්වන වැටුප් වැඩිවීම 2027 වසරේ ජනවාරි මාසයේදී ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. විශේෂ වියදම් ඒකක සඳහා වන 2027 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අද (නොවැම්බර් 21) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන් ප්‍රධාන කරුණු සැකෙවින්:
- වැටුප් වැඩිවීම සහ විෂමතා නිරාකරණය: මූලික වැටුප අදියර තුනකින් ඉහළ දැමීමේ වැඩපිළිවෙළ යටතේ 2025 සහ 2026 වසරවල පළමු සහ දෙවන අදියර ක්‍රියාත්මක කළ අතර, තුන්වන අදියර 2027 ජනවාරි මාසයේදී ක්‍රියාත්මක වේ. පවතින වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා නිරාකරණය කිරීමට පත් කළ විශේෂ කොමිසමේ වාර්තාව 2027 ජූලි මාසයේදී ලැබීමට නියමිත අතර, එහි නිර්දේශ මත එම විෂමතා නිවැරදි කිරීමට පියවර ගැනේ.
- ජනාධිපති අරමුදලේ ප්‍රගතිය: ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට මාර්ගගතව (Online) සේවා විමධ්‍යගත කිරීම නිසා 2025 වසරේ 1,664ක්ව පැවති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2026 වන විට 27,948 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසර දෙක තුළ අරමුදලේ මූල්‍ය ශක්තිය සියයට 150කින් වර්ධනය වී ඇති අතර, හම්බන්තොට මහ රෝහලේ 570 දෙනකුට සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ 600 දෙනකුට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා පහසුකම් සලසා දී ඇත.
- අධ්‍යාපන සුබසාධනය සහ ඩිජිටල්කරණය: විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍ය දීමනාව සියයට 100කින් ඉහළ නංවා ඇති අතර, සිසුන්ට ඇස් කණ්ණාඩි 2,000කට ආසන්න ප්‍රමාණයක් බෙදා දී තිබේ. පාසල් සිසුන්ගේ ‘සුරක්ෂා’ රක්ෂණ ප්රතිලාභ පුළුල් කර ඇති අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ අධ්‍යාපනය පිළිබඳ ඩිජිටල් කාර්යසාධක බලකායක් ද සක්‍රීයව ක්‍රියාත්මක වේ.
- ස්වාධීන කොමිෂන් සභා සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’: ස්වාධීන කොමිෂන් සභාවලට සුදුසු සාමාජිකයන් පත් කර ඇති අතර, ජාතික පොලිස් කොමිසමේ පැමිණිලි විමර්ශන ප්‍රතිශතය ඉහළ ගොස් තිබේ. පාසල් ප්‍රජාව සහ අමාත්‍යාංශ එක්ව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ජනාධිපති කාර්යාලයේ නාස්තිය හා දූෂණය අවම කරමින් සේවා ගුණාත්මකභාවය ඉහළ නංවා ඇත.
- විපක්ෂයට ප්‍රතිචාර: සාධනීය හා ගෞරවාන්විත විවේචන පිළිගන්නා නමුත්, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පෞද්ගලික මට්ටමින් අසත්‍ය කරුණු සමාජගත කිරීම කණගාටුදායක බවත්, රට පරිවර්තනීය ගමනක යන මොහොතක විපක්ෂය වගකීම්සහගතව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
