ශ්‍රී ලංකාවේ වාහන ආනයන ක්‍රියාවලිය, වාහන ආනයනය සඳහා අදාළ බදු ප්‍රතිපත්ති, විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමේදී පැනනගින ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් ද ඊට සහභාගී වූහ.
සාකච්ඡාවේ ප්‍රධාන කරුණු සැකෙවින්:
- වාහන ආනයන බදු සංකීර්ණතාව: වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ආනයනය කළ වාහන ප්‍රමාණය හා වටිනාකම් සමාලෝචනය කෙරුණු අතර, එන්ජින් ධාරිතාව, CIF අගය සහ නිෂ්පාදන බදු ඇතුළු සංරචක පදනම් කරගත් බදු ගණනය කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ වීම මෙන්ම රේගු තක්සේරු කිරීම්වල ගැටලු පිළිබඳව අවධානය යොමු විය.
- රේගු නිෂ්කාශන ප්‍රමාදයන්: රේගුවට අමතරව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසකින් අනුමැතිය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ ඩිජිටල් ක්‍රමවේදයක් නොමැතිවීම නිසා වරායන්හි බහාලුම් රඳවා තැබීමට සිදුවීමෙන් ආනයනකරුවන්ට අමතර ගබඩා හා ප්‍රමාද ගාස්තු දැරීමට සිදුවන බව පෙන්වා දෙන ලදී.
- විද්‍යුත් වාහන (EV) බදු ප්‍රතිපත්ති සහ බැටරි කළමනාකරණය: සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට විද්‍යුත් වාහන ලබා ගැනීමට හැකි වන පරිදි බදු ප්‍රතිපත්ති සරල කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. එමෙන්ම, විද්‍යුත් වාහනවල ආයු කාලය අවසන් වන බැටරි බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් ආනයනකරුවන්ගෙන් වගකීමක් තහවුරු කර ගැනීමටත්, ගුණාත්මක ප්රමිතීන් හා HS කේත නිසි පරිදි යාවත්කාලීන කිරීමටත් සාකච්ඡා විය.
- සූර්ය බලශක්ති භාවිතය: විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේදී ජාතික විදුලිබල පද්ධතියට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා සූර්ය බලශක්තිය සහ විදුලි බල ගබඩා කිරීමේ බැටරි පද්ධති භාවිතය දිරිගැන්වීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
