උපසම්පදාවෙන් වැඩිමහල් භික්ෂුවකට හැර ගිහියකු දැක හුනස්නෙන් නොනැගිටීම භික්ෂු සම්ප්රදාය වුවද, පසුගිය 18 සහ 19 දිනවල පැවැති රුහුණු විශ්වවිද්‍යාලයේ 33 වැනි උපාධි ප්රදානෝත්සවයේදී එම සම්ප්රදාය අබිබවා ගිය සුවිශේෂී මනුෂ්‍යත්වයේ සිදුවීමක් ඉතිහාසයට එක් විය. ඒ, විද්වත් සභාව ඉදිරියේ අසුන්ගෙන සිටි රුහුණු සරසවියේ කුලපති, අග්ගමහා පණ්ඩිත ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමියන් සිය කුලපති අසුනින් නැගිට දිරිය උපාධි අපේක්ෂිකාවකට උපාධි සහතිකය පිරිනැමීමත් සමඟය.
ගතින් දුබල වුවද සිතින් හා හදින් නොසැලී සහායකයින්ගේ උදව් පවා ප්‍රතික්ෂේප කරමින් තනිවම විද්වත් මණ්ඩපය වෙත පියවර තැබූ උපාධි අපේක්ෂිකාව සමීපයට පැමිණි සැණින් අකුරැටියේ නන්ද නාහිමියෝ හුනස්නෙන් නැගිට ඇයට උපාධි සහතිකය ප්රදානය කළහ.
තමන් අසුනින් නැගිට්ටේ ඇගේ දිරියට හා කැපකිරීමට ගෞරව කිරීම සඳහා බව නාහිමියෝ පැවසූහ.
‘‘ඇත්තෙන්ම මා අසුනින් නැගිට්ටෙ ඇගේ දිරියට කැපකිරීමට ගෞරව කරන්නයි. ඇයට උදව්වට දෙදෙනෙකු හිටියා. නමුත් මම තනියමයි උපාධිය ගන්න යන්නේ, ඔයාලා එන්න එපා යැයි ඇය ඔවුන්ට කියලා. ඇයට ලියන්න අපහසුයි. ඇයගෙ හඬත් පැහැදිලි නැහැ. එය වැටහෙන්නේ නැහැ හැමෝටම. ඒ නිසා රුහුණු සරසවිය ඇයගෙ වාචික පිළිතුරු වෙනත් කෙනෙකු ලවා ප්‍රශ්න පත්‍රවල ලියන්න අවසර දුන්නා. එහෙමයි ඇය උපාධිය ලිව්වෙ. ඒ අතින් සරසවිය මනුෂ්‍යත්වය පිළිබඳ දුන් ආදර්ශය ඉතා ඉහළ යි. සරසවිය ම පවුලක් හැටියට ඇයට උදව් කළා. කරුණාව දැක්වූවා’’
