Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත් ප්‍රේමදාසගෙන් රජයට චෝදනාවක්

10 months ago

මෙරට පාසල් පද්ධතිය තුළ පවතින ගුරු හිඟය පියවීම සඳහා වසර 5ක් සහ 10ක් වැනි දීර්ඝ කාලයක් සේවය කළ සංවර්ධන නිලධාරීන් වහාම ගුරු සේවයට බඳවා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි.

කැබිනට් අනුමැතිය, රාජ්‍ය සේවා කොමිෂන් සභා නිර්දේශ මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිඛිත අනුමැතිය සහිතව 22,000කට ආසන්න පිරිසක් මීට පෙර නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට දායක වූ බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මෙම නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන බවට විවිධ අවස්ථාවල පොරොන්දු ලබා දුන්නද, පවතින අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් මේ වන විට 5,000ක පමණ පිරිසක් සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව විපක්ෂ නායකවරයා අනාවරණය කළේය

දැනට ඉතිරිව සිටින 17,000ක පමණ පිරිස මෙරට ගුරු හිඟය මගහරවා ගැනීමට විශිෂ්ට සේවාවක් ඉටු කරන බැවින් ඔවුන්ගේ සේවය නිසි පරිදි ඇගයීමට ලක් කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

පවතින සමථකරණ යෝජනාවකට අනුව, මෙම පිරිස අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස 2.2 ශ්‍රේණියට බඳවාගෙන පශ්චාත් උපාධි සුදුසුකම් සපුරාලීමෙන් පසු ස්ථිර කිරීමට හැකියාව තිබේ.

වත්මන් රජය විපක්ෂයේ සිටියදී මොවුන් බඳවා ගන්නා බවට පොරොන්දු වූවත්, දැන් රජයේ අමාත්‍යවරුන් එය කළ නොහැකි බව පවසමින් මැතිවරණ සමයේ ලබා දුන් පොරොන්දු කඩ කරමින් සංවර්ධන නිලධාරීන් රවටා ඇති බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් චෝදනා කළේය