කළුතර වස්කඩුව ප්‍රදේශයේදී සිදුවූ මාර්ග අනතුරකින් කැලණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ඉගෙනුම ලබමින් සිටි 21 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (08) උදෑසන කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් යතුරුපැදිවලින් ගාල්ල ප්‍රදේශය දක්වා විනෝද චාරිකාවක නිරත වෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිතුම් සංකල්ප නමැති 21 හැවිරිදි සිසුවෙකි.
මිතුරන් පස්දෙනෙකු සමඟ කොළඹ සිට ගාල්ල දෙසට යතුරුපැදිවලින් ගමන් කරමින් සිටියදී අදාළ සිසුවා ගමන් කළ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදවැටී ඇති අතර, ඒ මොහොතේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක පසුපස රෝදයට යටවීමෙන් සිසුවා එම ස්ථානයේදීම මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි.
අනතුර සිදුවූ අවස්ථාවේදී ගාලු පාරේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබූ අතර, පසුව පොලීසිය මැදිහත්ව තත්ත්වය සමතයකට පත්කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අනතුර සිදුවූ ආකාරය ආසන්නයේ තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබේ.
