Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නවකවදයට මුහුණදෙන සිසුවෙක් හෙළිකළ තිත්ත ඇත්ත

4 years ago

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ නවකවදයට මුහුණ දෙන ශිෂ්‍යයෙකු ඒ පිළිබඳව පාලනාධිකාරිය දැනුවත් කළ ලිපියක් මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ මව ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වෙත ලිපියක් යොමුකර ඇත.

නවකවදයට මුහුණ දුන් සිසුවා සිය ලිපිය මගින් මෙලෙස පවසා තිබේ.

“මම කැම්පස් ආවේ ඉගෙන ගන්න. ඒත් පළමු SEMESTER එකත් හොඳටම ඇණගත්තා. පාඩම් කරන්න මානසිකත්වයක් නැහැ. පාඩම් කරන්න වෙලාවක් නැහැ. ආපු දවසේ ඉඳන්ම දුක විතරයි. මායි අම්මයි විතරයි ගෙදර ඉන්නේ. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ගොවිතැන් කරලා.. වැලි එකක් ගොඩදාගෙන සල්ලි ටිකක් හොයාගෙන ඇවිත් හොස්ටල් එකේ නතර වෙනවා. ඒ සල්ලි ටික ඉවරවෙනකම් ඉඳලා ගෙදර යන්න ආපුවහම ගෙදර යන්න දෙන්නේ නැහැ. මොකක්ද මේ ජීවිතේ ? අම්මගේ සැප දුක හොයලා බලන්නවත් විදිහක් නැහැ. ෆෝන් ඔක්කොම අරගෙන. පුළුවන් නම් මට ගෙදර යන්න හදලා දෙන්න.” 

අදාළ සිසුවාගේ මව ද විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වෙත ලිපියක් යොමුකර තිබුණි.

එහි සඳහන් වන්නේ,

“මාගේ පුතා මෙම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් ලෙස පළමු වසරේ ඉගෙනුම ලබනවා. ඔහු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ නැවතී සිට අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඔහු අනතුරකට ලක්වී කකුලක් ආබාධව සිටියි. විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන්ට ලබාදෙන නවකවදයට මාගේ පුත්‍රයාද මුහුණ පා සිටියි. ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් මාගේ පුතාගේ කකුලෙහි ආබාධයද නොසලකා ඉතා අමානුෂික ලෙස නවකවදය ලබාදෙන බව මාගේ පුතා මා සමග පවසා ඇත. පියා ද නොමැතිව මා තනිවම දුක් මහන්සියෙන් උගන්වා විශ්වවිද්‍යාලයට එවන ලද මාගේ පුතා මානසික රෝගියෙකු හෝ ආබාධිතයෙකු කර ගැනීමට මා හට අවශ්‍ය නොවන බව දන්වමි. මෙම අමානුෂික නවකවදය නතර කර මාගේ පුතාට මෙන්ම විශ්වවිද්‍යාලයට පැමිණෙන අනෙකුත් දරුවන්ට ද නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.”
(adaderana)