රාජකාරි පැහැර හැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මහනුවර රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ. ඩී. සුගතදාස වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පොලිස් කොට්ඨාසයට මාරුකර ඇත.
රථවාහන අංශ ස්ථානාධිපතිවරයා නිසි ලෙස රාජකාරි ඉටු නොකිරීම හේතුවෙන් අටමස්ථානාධිපති නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නය මහනුවරට වැඩම කළ පසුගිය 06 වැනිදා ඇති වූ මාර්ග තදබදය හේතුවෙන් උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නියමිත වේලාවට හීල්දානය ලබා ගැනීමට නොහැකි වූ බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගතදාස සිදුකළ රාජකාරී පැහැර හැරීමක් සම්බන්ධයෙන් පසුගිය 03 වැනිදා නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න දැනුවත් කර තිබේ.
අදාළ නිලධාරියා මහනුවර රථ වාහන අංශයේ ස්ථානාධිපති ලෙස හෝ කොට්ඨාසයේ රැඳී සිටීමෙන් විනය පවත්වා ගැනීමට නොහැකි බැවින් ඔහු කොට්ඨාසයෙන් පිටතට මාරු කිරීම සුදුසු බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කළ ලිපියේ සඳහන් කර ඇත.
අටමස්ථානාධිපති හිමි ප්රමුඛ මහා සංඝරත්නය ගමන් ගත් වාහනය මාර්ග තදබදයට අසුවූ අවස්ථාවේ එම රථ පෙළ සමග මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් ගමන් ගෙන ඇත. රථ වාහන අංශ ස්ථානාධිපතිවරයා සිදුකළ රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායකද පරීක්ෂණයක් සිදුකර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ලබාදුන් වාර්තාවේ ඇති නිරීක්ෂණ හා නිර්දේශ පදනම් කර ගනිමින් රථ වාහන ස්ථානාධිපතිවරයා කොට්ඨාසයෙන් පිටතට මාරු කිරීම සුදුසු බව නිර්දේශ කරමින් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක අදාළ ලිපිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇත.
මේ අතර රථවාහන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා මහනුවර නගරයේ තදබදය අවම කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ බව මහනුවර ත්‍රිරෝද රථ සංගමය හා ප්රදේශවාසිහු සඳහන් කරති. අටමස්ථානාධිපති නාහිමි ප්රමුඛ මහා සංඝරත්නය වැඩම කළ විශාල බස් රථය මහනුවර අදාළ හෝටලය වෙත රැගෙන යෑම සඳහා යම්කිසි ප්‍රමාදයක් ඇතිවූයේ එම මාර්ගය පටු මෙන්ම වංගු සහිත මාර්ගයක් බැවින් එම බස් රථය පරීක්ෂාකාරීව අදාළ මාර්ගයේ ධාවනය කිරීමට සිදුවූ බැවින් බවද මහනුවර නගර වාසීහු පවසති.
-aruna-
