Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රසිද්ධ පාසලක උසස් පෙළට සිසුන් ඇතුළත් කරගැනීමට 30,000ක් අරන්! හැබැයි රිසිට් එක දෙන්නේ 7,920ක් ලෙසයි!

4 years ago

අම්බලන්ගොඩ ප්‍රධාන පෙළේ ජාතික පාසලක උසස් පෙළ පන්ති සඳහා මෙවර සිසුන් බඳවා ගැනීමේදී එක් දරුවෙකුට රුපියල් 30,000කට ආසන්න මුදලක් ගෙවීමට ඔවුන්ගේ මවුපියන්ට සිදුව ඇතැයි ද මේ නිසා ම බොහෝ මවුපියන්ට තමන්ගේ කනකර උකස් කර එම මුදල් ගෙවීමට සිදුව ඇතැයි ද මවුපියෝ ප්‍රකාශ කරති.

මෙසේ මුදල් එකතු කිරීම අධ්‍යාපන චක්‍රලේඛ බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක් බව මවුපියෝ පෙන්වා දෙති.

මෙම මුදලින් රුපියල් 7,920ක් පාසල් සංවර්ධන ගිණුමට බැර කරන ලද බවට රිසිට් පතක් ලැබෙන අතර ඉතිරි මුදල් අම්බන්ගොඩ නගරයේ පෞද්ගලික බැංකු ගිණුම් අංකයක් ලබා දී එම ගිණුම් අංකයට බැර කර රිසිට් පත පාසලෙන් ලබාදෙන දුරකතන අංකයට වට්ස්ඇප් මගින් යොමු කළ යුතු බවට පාසලෙන් උපදෙස් ලබා දී තිබෙන බව ත් මෙම ගැටලුවට මුහුණ දුන් මවුපියෝ ප්‍රකාශ කරති.

අම්බලන්ගොඩ නගරයේ කීර්තිමත් නාමයක් දිනා ඇති මෙම පාසලේ උසස් පෙළ අධ්‍යාපනය සඳහා ග්‍රාමීය පාසල්වලින් ඉහළ ලෙස සාමාන්‍ය පෙළ සමත් දරුවෝ විශාල වශයෙන් පැමිණෙති.

මෙම දරුවන්ගේ බොහෝ මවුපියන් ඉතා අසරණ දුප්පත් අය වන අතර දරිද්‍රතාවෙන් ගොඩ ඒම සඳහා ඔවුන්ට ඇති එකම විකල්පය දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබා දීම බව ද ඔවුහු කියති.

ඒ නිසා ම, තම දරුවන් උසස් පෙළ හැදෑරීම සඳහා අම්බලන්ගොඩ මෙම ජනප්‍රිය ජාතික පාසල තෝරාගෙන තිබෙන බව ත් එම පාසලට මෙතරම් ඉහළ මුදලක් ඇතුළත් වීමේ ගාස්තු සඳහා ගෙවීමට සිදුවීම දරාගත නොහැකි බව ත් මවුපියන්ගේ මතය වී තිබේ.

මෙම මුදල ගෙවීමට නොහැකි නම් වෙනත් පාසලක් තෝරා ගන්නා ලෙස අදාළ පාසලේ ගුරුවරුන්, මවුපියන්ට හා දරුවන්ට ප්‍රකාශ කරන බවත් ඔවුහු ප්‍රකාශ කරති.

මෙම ජනප්‍රිය විදුහලේ විද්‍යා හා ගණිත, කලා, වාණිජ හා තාක්ෂණවේදී අංශය සඳහා දරුවන් 100කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් කරගෙන තිබේ. මෙම පාසලට දරුවන් ඇතුළත් කිරීම සඳහා රුපියල් 27,000කට අධික මුදලක් ගෙවීමට සිදු වූ බව ත් ඒ වෙනුවෙන් තමන්ට රිසිට් පතක් ලෙස ලැබුණේ සේවා හා පහසුකම් ගාස්තු හා පාසල් සංවර්ධන ගාස්තු වෙනුවෙන් රුපියල් 7,920ක මුදලකට පමණක් බව ත් මවුපියෝ ප්‍රකාශ කරති.

ඩෙස් – පුටු සඳහා රුපියල් 11,000ක්, ශ්‍රවණාගාරයේ විදුලිපංකා අලුත්වැඩියා සඳහා රුපියල් 4,000ක්, රසායනාගාර පහසුකම් සඳහා රුපියල් 2,100ක්, සේවා හා පහසුකම් ගාස්තු හා පාසල් සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් 7,920ක් ද දරුවන්ගේ පන්ති අලුත්වැඩියාව සඳහා රු. 2,000 බැගින් ද එක් දරුවෙකු වෙනුවෙන් වසර දෙකක් සඳහා ගෙවීමට සිදු වූ බව ද පාසලට දරුවන් ඇතුළත් කළ මවුපියෝ සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අදාළ විදුහලේ විදුහල්පතිගෙන් අප කළ විමසීමේදී පැවැසුවේ දරුවන්ගේ සේවා පහසුකම් හා පාසල් සංවර්ධන සමිතියට වසර දෙකකට රු. 7,920ක මුදලක් අය කරන බව ත් ඒ සඳහා රිසිට් පතක් පාසලෙන් නිකුත් කරන බවත් ය. “ඔය කියන පෞද්ගලික ගිණුමක් සඳහා තවත් මුදල් බැර කිරීමක් සම්බන්ධව කියන කතා ප්‍රතික්ෂේප කරන” බවත් ය.

බැංකු ගිණුම් අංකය හා අදාළ බැංකුවේ තොරතුරු ලබාදී ඒ සම්බන්ධයෙන් විමසූ විට ප්‍රකාශ කළේ පාසලේ නම මෙන් ම තමන්ගේ තනතුර උපයෝගි කරගෙන වෙනත් අය මෙසේ මුදල් එකතු කරනවා ද කියා තමා නොදන්නා බව ත් එවන් තත්ත්වයක් ඇත්නම් වහා ම එය විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් ය.
~මව්බිම – දම්සරී ලියනගේ (බලපිටිය)~