ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට වයස අවුරුදු 19න් පහළ ‘ටී-10’ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි ක්‍රිකට් සංගමය සහ පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර තිබේ.
ලබන අප්‍රේල් මාසයේදී පවත්වන්නට සැලසුම්කර තිබෙන අදාල තරගාවලිය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව ඊයේ (26 වැනිදා) කොළඹ බ්ලුම්ෆීල්ඩ් පිටියේදී පැවැත්විණි.
ඒ අනුව මෙම තරගාවලිය සදහා පළමු කාණ්ඩයේ පාසල් 32ක් සහභාගිවීමට නියමිතය. පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියට ජාතික මට්ටමේ ප්‍රමිතියකින් ක්‍රියාත්මක වන බව සංවිධායකයින් කියා සිටියේය.
ඒ අනුව මෙම තරගාවලිය ක්‍රීඩාංගණ 4කදී ක්‍රියාත්මක කිරීමට සංවිධායක මණ්ඩලයේ අපේක්ෂාව වී තිබේ. ඒ අනුව සී.සී.සී. බ්ලුම්ෆීල්ඩ්, තර්ස්ටන් සහ ඩී.එස්. සේනානායක ක්‍රීඩා පිටිය මේ සදහා සූදානම් කර ඇත. තරගාවලියේ අර්ධ අවසන් තරග සහ අවසන් මහා තරගය සී.සී.සී. පිටියේදී පැවැත්වීමට නියමිතයි.
මේ සදහා ජාතික මට්ටමේ විනිසුරුවරුන් සහ නිවේදකයන් ද සහභාගි කරවීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. අදාළ තරගාවලිය අප්‍රේල් 10 වැනිදා සහ අප්‍රේල් 11 වැනිදා පැවැත්වෙනු ඇත. මෙම තරගාවලියේ තරග සැකැස්ම සදහා වන කුසපත් ඇදීම ඉදිරියේදී සිදු කෙරෙනු ඇත.
මෙම මාධ්‍ය සාකච්ඡාවට නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
-අරුණ-
