රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ අද (ජන. 31) නියෝග කළේ ය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම නියෝගය ලබා දුන්නේ ය.
මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබා දුන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර ඇති බවට අනාවරණය බව ප්‍රකාශ කරමිනි.
අදාළ නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන කිසිදු වරදක් සැකකරු සිදු කර නොමැති බව අනාවරණය වන බැවින් ඔහු නිදහස් කරන බව ය.
පසුගිය වසරේ මැයි මාසයේ කොටුව බැංකු මාවතේ පැවති උද්ඝෝෂණයකදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා ඔවුන්ට අයුතු අවහිරයන් කළ බවට වසන්ත මුදලිගේට චෝදනා එල්ල වී තිබිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වසන්ත මුදලිගේ දින 150කට අධික කාලයක් සිරගතව පසු විය.
