Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙවර විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ අවුල් ජාලාවක් බවට පත්වෙයි

4 years ago

මෙම වසරේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ගුරු සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට අවුල් ජාලාවක් බවට පත්ව තිබේ.

සුදුසුකම් නොමැති සිසුන් සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගෙන ඇති අතර සුදුසුකම් සහිත බොහෝ සිසුන්ට අවස්ථාව නොලැබීම මෙම තත්ත්වයට හේතු වී ඇත.

උසස් පෙළ සමතුන් හැත්තෑ හත්දහසක් මෙවර විද්‍යාපීඨ සඳහා අයැදුම් කර තිබූ අතර ඒ අතරින් උපරිම සුදුසුකම් සපුරාලූ දහඅටදහසක් අමාත්‍යාංශය විසින් තෝරා ගනු ලැබ තිබිණි. තෝරා ගැනීමේ නිර්ණායකවල පැවති ගැටලුවක් හේතුවෙන් ඉංග්‍රීසි, දෙමළ සහ තොරතුරු තාක්ෂණ යන විෂයයන් සඳහා සුදුසුකම් ඇති අයැදුම්කරුවන්ට අවස්ථාව අහිමි වී තිබේ. තෝරා ගැනීමේ නිර්ණායක කිහිපයක් පවතින නමුත් උසස් පෙළ ඉසඩ් ලකුණු පමණක් එකම නිර්ණායකය ලෙස සලකා කටයුතු කිරීම මෙම අවුල් සහගත තත්ත්වයට හේතු වී ඇත.

ඉංග්‍රීසි විෂයය සඳහා තෝරා ගැනීමේ දී උසස් පෙළ ඉංග්‍රීසි විෂයයක් ලෙස හදාරා ඇති අයැදුම්කරුවන්ගේ ඉසඩ් ලකුණු නොසැලකේ. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයය සඳහා විශිෂ්ට සාමර්ථ්‍ය ලබා සිටින සිසුන්ට මෙන් ම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයයට සම්මාන ලබා සිටින සිසුන්ට ද ප්‍රමුඛතාව හිමි වෙයි. උපරිම සුදුසුකම් සහිත අයැදුම්කරුවන් තෝරා ගෙන ඇත්තේ මෙම නිර්ණායක නොසලකමිනි.

මෙම අවුල් සහගත තත්ත්වය මත ඉංග්‍රීසි විෂයය සම්මුඛ පරීක්ෂණ සඳහා උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂයය සමත් සිසුන් ද කැඳවා ඇත. නියම සුදුසුකම් සහිත එහෙත් මේ දක්වා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් නොලද සිසුන් දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර ඔවුන් අමාත්‍යාංශයට මෙන් ම විද්‍යාපීඨවලට පැමිණ විමසීම් කිරීමට පටන් ගෙන තිබේ.

සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් කළ නුසුදුසු අයැදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමටත් පෙර නුසුදුසු බව දන්වන අවස්ථා ද වෙයි. ඇතැම් විට සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්නේ ඉතාමත් දුර බැහැර සිට වන අතර ඒ සඳහා සහතික පත් ඇතුළු ලිපිලේඛන සම්පූර්ණ කර ගැනීමට ද ඔවුන්ට අමතර වියදමක් මෙන් ම විශාල කාලයක් ද වැය කළ යුතු ය.

මෙම තත්ත්වය මත ඇතැම් අයැදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණවලට පැමිණ ආපසු හැරී යාමට පවා සිදු වී තිබෙන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ගුරු අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය සංගමයේ ලේකම් ධම්මික මිරිහාන පැවසීය.

ඉංග්‍රීසි විෂයය සඳහා පමණක් යම් ගැටලුවක් උද්ගතව ඇතැයි මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශයේ නිලධාරිනියක් සඳහන් කළාය. එම ගැටලුව නිරාකරණය කරමින් නියම සුදුසුකම් සහිත නිවැරදි ලේඛනයක් විද්‍යාපීඨ යවා තිබෙන බවත් ඇය කීවාය.
-අරුණ-