Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට අධ්‍යාපන ඇමතිගෙන් උපදෙසක්

4 years ago

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉක්මවා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය මගින් බලාපොරොත්තු වන්නේ උගන්වන සියල්ල මතකයේ තබාගෙන ගොස් විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියා එන පිරිසක් බිහිකිරීම නොවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

එමෙන්ම උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් නොවන ලෙසත් අමාත්‍යවරයා උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති “ජාතික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන ශූරයෝ –2021” තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින් එළැඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත උපාධිධාරී ගුරු විභාගයේ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වෙන බවට පළ ව තිබූ දැන්වීමක් පිළිබඳ අදහස් පළ කරමිනි. 

“මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් බලාපොරොත්තු වෙන්නේ, සියල්ල මතකයේ තියාගෙන මතකයෙන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන එක නෙමෙයි. සරල ගණිත ගැටලුවක් විසඳන්නේ කොහොම ද? සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නේ කොහොම ද? ක්ෂණිකව කල්පනා කරලා එකෙන් තමා නිපුණතාවය එන්නේ. අපිට ඕනේ නිපුණතාවයෙන් හෙබි පිරිසක් ගුරුවරුන් විදියට දරුවන්ව ඒ තත්ත්වයට ගේන්න. දරුවන්ට උගන්වන පිරිසත් උපකාරක පන්ති ගිහිල්ලා තෝරාගැනීමේ විභාගයට පෙනී සිටිනවා නම් ඒ ආකල්පය දැන්ම වෙනස්කර ගන්නවා නම් හොඳයි.”

සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් අතරින් ගුරුවරුන් ලෙස බැඳීමට අපේක්ෂා කරන අදාළ වයස් සීමාවේ පසුවන අය වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිත මෙම තෝරාගැනීමේ විභාගය අසීරු තරග විභාගයක් නොවන බවත් එනිසා අනිසි ලෙස අමතර පන්තිවලට සහභාගී වීමකින් තොර ව අපේක්ෂකයන් නියමිත දිනට විභාග ශාලාවට ගොස් ආත්ම ශක්තියෙන් යුතු ව එම පරීක්ෂණයට මුහුණදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.