නව බදු සංශෝධනයට එරහිව බැංකු සේවකයින්ද අද දහවල් 12:30 සිට සේවයෙන් ඉවත් වීමේ සූදානමක් ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංන්ජන් සේනානායක මහතා සඳහන් කරනවා.
මෙය සිදුවන්නේ පසුගියදා සිදුකළ බදු සංශෝධනයට එරෙහිව වෘත්තීය සමිති කිහිපයක් අද දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීවයි.
ඉහළ යන ජීවන වියදමත් සමඟ දෛනික ජීවිතය කරගෙන යාමට අසීරුතාවට පත්ව සිටින ජනතාවට මෑත කාලීන බදු ඉහළ දැමීම තවත් බරක් වී ඇති බවයි වෘත්තීය සමිති පවසන්නේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් එක්ව අද විරෝධතා සහ වැඩවර්ජන දියත් කිරීමට නියමිතයි.
එමෙන්ම රජයේ විධායක නිලධාරීන්ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක අද නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ .එල් උදයසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළා.
