Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බීමත් රියදුරු පවුලක් යටකරයි! අයෙක් මිය යයි! පහකට තුවාල!

4 years ago

අනුරාධපුර-ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කහටගස්දිගිලිය නගරය ආසන්නයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පස්දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

එම අනතුරින් මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි දෙදරු පියෙකි.

13 වනදා සවස අනුරාධපුර-ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කහටගස්දිගිලිය නගරය ආසන්නයේ පිහිටි තුරු සෙවණ නමැති ස්ථානයේදී ඔවුන්ගේ මෝටර් රථය කාර්මික දෝෂයට ලක්ව තිබුණි.

පසුව කාර්මික දෝෂය ඇති වූ රථයේ රියදුරුගේ දැනුම්දීමකට අනුව මෝටර් රථ කාර්මිකයකු වන ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සිය පුතා සමග මෝටර් රථය සෑදීමට එම ස්ථානයට පැමිණ ඇති බව කහටගස්දිගිලිය පොලීසිය සඳහන් කරයි.

එම අවස්ථාවේ මෝටර් රථයේ හිමිකරු, ඔහුගේ බිරිඳ හා තවත් කුඩා දරුවෙක් ඒ අසල සිට ඇති බව මූලික පරීක්ෂණයේදී පොලීසිය අනාවරණය කරගෙන ඇත.

මෝටර් රථය අලුත්වැඩියා කරමින් සිටි අතරතුර දී, වෑන් රථයකින් පැමිණි පුද්ගලයකු ඔහු සමග බහින්බස් වී ඇති බවද පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

එම බහින්බස්වීම දුරදිග යාමෙන් පසු වෑන් රථයේ රියදුරා, මාර්ගයේ ඉදිරියට ගොස් නැවත වෑන් රථය ආපසු හරවාගෙන පැමිණ, කාර්මික දෝෂයට ලක්ව තිබූ මෝටර් රථය අසල සිටි පිරිස යටකර නොනවත්වා ධාවනය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

බරපතළ තුවාල ලැබූ තුවාලකරුවන් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් මෝටර් රථ කාර්මික ශිල්පියා මියගොස් සිටි බව කහටගස්දිගිලිය පොලීසිය පවසයි.

බරපතළ තුවාල ලැබූ අනෙක් සිව්දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

වෑන් රථයේ රියදුරාව කහටගස්දිගිලිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ ඔහු  බීමත්ව සිටින බවය.

වයස අවුරුදු 38ක් පමණ වන අංක 18 ඩිපෝ වත්ත, කහටගස්දිගිලිය ලිපිනයේ පදිංචි පියදාසගේ අමිල රුවන් විරසේකර නැමැත්තා කහටගස්දිගිලිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (14) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.