මිරිහාන පොලිසිය තුළදී ඊයේ (පෙබ. 18) සවස් කාලයේ සිරුරට ගිනි දල්වා ගෙන සිය බිරිඳව ද බදා ගෙන පිළිස්සීමට තැත් කළ පුද්ගලයෙකුගේ උත්සහය පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා වළක්වා තිබේ.
එම පුද්ගලයා විසින් බිරිඳට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ දී මෙම සිද්ධිය වී ඇති බව පොලිසිය පැවසීය.
මිරිහාන මූලස්ථාන පොලිසියේ පැමිණිලි අංශය තුළදී සැකකරු එක වර ම ලයිටරයක් දල්වා ඔහුගේ සිරුරට ගිනි ඇවිලීමට සලස්වා ඒ අසල සිටි ඔහුගේ බිරිඳ බදා ගැනීමට උත්සහ ගැනීමත් සමග ම එම කාන්තාව ප්‍රධාන දොරටුවෙන් පිටතට දිව ගොස් දිවි බේරා ගෙන ඇත.
ඒ සමග ම එහි සිටි පොලිස් නිලධාරීන් අදාළ කාන්තාව පසුපස හඹා යමින් සිටි එම පුද්ගලයා අල්ලා ගෙන ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.
එම අවස්ථාවේ ඔහු ඇඳ සිටි ඇඳුමෙන් පෙට්‍රල් ගන්ධයක් වහනය වී ඇත.
පිළිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
එම පුද්ගලයාට විරුද්ධව බිරිඳට ඇසිඩ් ගැසීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ නඩුවක් පවතින අතර නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ද දැනට මහාධිකරණ නඩු තුනක් විභාග වෙන බව පොලිසිය සඳහන් කළේ ය.
ඔහු නුගේගොඩ උඩහමුල්ල, දුම්රිය පොළ පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයෙකි.
මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ පැවැත්වේ.
