Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම දින නියමයක් නොමැතිව කල් යයි

4 years ago

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම දින නියමයකින් තොරව කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඇගයීම් ආරම්භ කිරීමට නියමිත වූයේ අනිද්දා ( 22 වැනිදා) සිටය. එසේ වුව ද ඇගයීම් කටයුතු සඳහා ඒ ඒ විෂයයන්වලට ලකුණු පටිපාටි සකස් කිරීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රතික්ෂේප කිරීම ඇගයීම් කටයුතු කල් දැමීමට හේතුව වී තිබේ. ඇගයීම් කටයුතුවලට ආචාර්යවරු සහය නොදක්වන්නේ රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පෑමක් වශයෙනි.

මේ අතර ඇගයීම් කරන ගුරුවරුන්ගේ දීමනා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර වැඩි කළ යුතු දීමනාව මුදල් අමාත්‍යාංශ ලේකම් සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා කර තීරණය කර ගත යුතු බව කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කර තිබේ. දීමනා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත්තේ ගුරුවරුන්ගේ දෛනික දීමනාව රුපියල් තුන් දහසකින් වැඩි කිරීමට අනුමැතිය දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය කළ ඉල්ලීම අනුවය.

කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව ඇගයීම් කරන ගුරුවරුන්ගේ දෛනික දීමනාව රුපියල් තුන්දහසක් දක්වා වැඩි කිරීමට අනුමැතිය දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබෙන අතර එම ඉල්ලීම ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා මුදල් අමාත්‍යාංශයට යොමු කර තිබෙන බව ආරංචි මාර්ග කීවේය.

එමෙන් ම විද්‍යා සහ ගණිත විෂය ධාරාවේ ඇතැම් විෂයයන්වල ඇගයීම් කටයුතු සඳහා ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් මෙතෙක් අයැදුම් කර නැති අතර දීමනා වැඩි කිරීමේ තීරණය ලද වහාම එම විෂයයන්වල ඇගයීම් සඳහා යළිත් ගුරුවරුන්ගෙන් අයැදුම් පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.

මෙවර විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවෝ තුන් ලක්ෂ තිස් දහසක් පමණ පිරිසක් පෙනී සිටියහ.