ශ්‍රී ලංකාව ආර්ථික අතින් නව ගමනක් ආරම්භ කිරීමට නම් පවතින වාතාවරණයට හැඩ ගැසෙමින් අප ඉදිරියට යායුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
37වන ජාත්‍යන්තර වරලත් ගණකාධිකාරී ශිෂ්‍ය සම්මේලනයට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කළේය.
ජනතාවට ඇතිවන වේදනාව අවම කරමින් ආර්ථිකය ගොඩ ගැනීමට මහ බැංකුව උපරිම උත්සාහයක් ගන්නා බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙලෙස පැවසීය,
“මට නිතරම අසන්නට ලැබෙන දුක් ගැනවිල්ලක් තමයි පොලී හා බදු අනුපාතයන් ඉහළ යාම කියන කාරණය. ඔවුන් වටහා ගත යුතු කරුණක් තමයි, අඩු පොලී අනුපාත මත අපට තවදුරටත් රඳා පැවැතිය නොහැකි බව. මහ බැංකුව ලෙස අපි උපරිම උත්සාහ කරනවා ජනතාවට ඇතිවන වේදනාව අවම කරමින් ආර්ථිකය ගොඩනගන්නට.”
“මට විශ්වාසයි. අප සිටියාට වඩා හොඳ තත්ත්වයකට පත්වූ ආකාරයෙන්ම අපට මුල්‍ය සහන ලැබුණු පසු ඊට වඩා ඉහළ ප්‍රගතියක් අත්කර ගත හැකි බවට. මට කියන්න පුළුවන් මෙය නව ගමනක ආරම්භයක් බව පමණයි. සහනයක් ලබාදීම අවසාන විසඳුම නොවෙයි. නව ගමන නම් අප පවතින වාතාවරණයට හැඩ ගැසෙමින් ඉදිරියට යාමයි. අපිට නැවතත් පෙර තත්ත්වයට යා නොහැකියි. අපේ වැඩසටහන් සියල්ල ක්‍රියාත්මක වන්නේ ඒ අරමුණින්.
