Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෑවැදි ඉල්ලන්නේ නැති හොඳම නැන්දම්මා තෝරන්න තරගයක්

4 years ago

දියණියක විවාහ කර දීමේදී දෑවැද්දක් ද දීම ඇතැම් රටවල පවතින සම්ප්‍රදායකි. 

මෙයට තරමක් වෙනස් සම්ප්‍රදායක් චීනයේ තිබේ. එම සම්ප්‍රදායට අනුව සිදු වන්නේ තරුණියක විවාහ කර ගන්නා තරුණයා තම මනාලියගේ මව්පියන්ට ‘දෑවැද්දක්’ පිරි නැමීමය.

මෙහිදී මනාලයා විශාල මුදලක් පිරිනමනු ලබන බව සඳහන් වේ. ඔහු මෙවැනි තෑග්ගක් ලබා දෙන්නේ තම හිතවත්භාවය සහ ආර්ථික ශක්තිය පෙන්වීමටය. 

එමෙන්ම පුතුන්ට වැඩි තැනක් හිමිවන සමාජයක දියණියක ලොකු මහත් කිරීම ගැන කෘතවේදීත්වය පළ කිරීමක්ද මේ තුළින් සිදුවන බව පැවසේ.

කෙසේ හෝ වේවා, මෙම චාරිත්‍රයට එරෙහිව පියවර ගැනීමට සහ එය අධෛර්යමත් කිරීමට චීන බලධාරීන් සූදානම් වන බව සඳහන් වේ.

චීනයේ විවාහයන්ගෙන් 75%කදී පමණ මෙම චාරිත්‍රය ඉටු කිරීමක් සිදුවන බව මෑතක කරන ලද සමීක්‍ෂණයකින් හෙළි වී තිබිණි.

නමුත් බොහෝ මනාල පාර්ශ්වයන්ට මෙය දරා ගැනීමට අපහසු වියදමකි.

චීනයේ උපත් අනුපාතය පහත වැටීම මේ වනවිට එරටට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන්නකි.

විවාහ වන සංඛ්‍යාව අඩු වීමද, විවාහයන් ප්‍රමාද වීමද මෙයට බලපා ඇති සාධකය. මෙම තත්ත්වය තුරන් කිරීම සඳහා චීන රජය විවිධ පියවර ගනිමින් සිටියි.

ඉහත කී ‘දෑවැද්ද’ පිළිබඳ සම්ප්‍රදායට එරෙහිව පියවර ගැනීමද එම වැඩපිළිවෙළේ කොටසකි. විවාහයකදී දැරීමට වන වියදම මේ නිසා අඩු කිරීමට හැකියාව ලැබේ.

ජනගහණය අඩුවීම හේතුවෙන් එරට ශ්‍රම බළකායේ අඩු වීමක්ද, රට තුළ පරිභෝජනය පහත වැටීමක්ද සිදු වේ.

එමෙන්ම උපත් අනුපාතය අඩුවීම නිසා වියපත් පුද්ගලයන්ගේ ප්‍රතිශතය ඉහළ යාමක්ද සිදු වන අතර එය එරට සෞඛ්‍ය පද්ධතිය මතද විශාල පීඩනයක් ඇති කරන්නකි.

මෙම සියල්ල චීන ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කර ඇත.

ඉහත කී දෑවැදි සම්ප්‍රදාය අධෛර්යමත් කිරීම සඳහා චීනයේ ඇතැම් පළාත් විවිධ නිර්මාණාත්මක වැඩසටහන් දියත් කර ඇති බව ද වාර්තා වේ.

හොඳම නැන්දම්මා තේරීම වැනි තරග ද සමහර පළාත්වල පැවැත්වෙන බවත්, එහි දී මුදල් අඩුවෙන් ඉල්ලන නැන්දම්මාවරුන් තේරීමක් සිදුවන බවත් සඳහන්ය. 

එමෙන්ම මනාල පාර්ශ්වයෙන් විශාල මුදල් ප්‍රමාණයන් බලාපොරොත්තු නොවන බව සඳහන් වන ලියවිල්ලකට අවිවාහක තරුණියන්ගෙන් අත්සන් ගැනීමේ වැඩසටහනක් ෂියැංග්ෂි නමැති නගරයක ක්‍රියාත්මක කර තිබිණි.

ජාත්‍යන්තර කාන්තා දිනයේදී තවත් නගරයක සමූහ විවාහ උත්සවයක් පවත්වා තිබූ අතර එහි තේමාව වී ඇත්තේ ‘අපට ඕනෑ සතුටයි. දෑවැදි නොවේ’ යන්නය.
-aruna-