මහජන බැංකුවේ පවතින ගිණුම් වහාම වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව රජයේ සියලුම සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබෙනවා.
මීට අමතරව පෞද්ගලික ව්‍යාපාරිකයන් රැසක් ද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත වාචිකව දැනුම් දී ඇත්තේ කනගාටුවෙන් වුව ද සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇති බවයි.
වැඩ වර්ජන ආදිය නිසා දිගින් දිගටම ගැටළු මතු වුවහොත් සිය ව්‍යාපාරික කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි බැවින් කනගාටුවෙන් වුවද තම ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇතැයි ව්‍යාපාරිකයන් ජනාධිපතිවරයාට දැනුම්දී තිබෙනවා.
මහජන බැංකුවේ සේවකයන් ද ඊයේ (15) පැවැති වර්ජනයට එකතුවීම හේතුවෙන් සිය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීමෙන් ගැටළු රැසකට මුහුණදීමට සිදු වූ බව සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත වැඩිදුරටත් අවධාරණය කරනු ලැබ තිබෙනවා.
රාජකාරි කටයුතු වෙනුවෙන් මහජන බැංකු වෙත ගිය සේවකයන්ට අවශ්‍යතා වෙනුවෙන් මුදල් ගැනීමට නොහැකි වූ බවත් එම නිසා වෙනත් විකල්ප මාර්ග සෙවීමට සිදුවීමෙන් සේවාදායකයින් අපහසුතාවයට පත් වූ බවත් රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයට පැහැදිලි කර තිබෙනවා.
එම නිසා අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකමින් සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කොට වෙනත් බැංකු වෙත මාරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කෙරුණා.
