Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආන්දෝලනාත්මක චරිතයකට මීළග පොලිස්පති ධූරය හිමි වෙයි

4 years ago

ශ්‍රී ලංකා පොලිසියේ 36 වන පොලිස්පතිවරයා හැටියට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්වනු ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ලබන 25 වන දා සේවයෙන් විශ්‍රාම යාමත් සමග පුරප්පාඩු වන පොලිස්පති පුටුවට මෙම පත්වීම සිදුවනු ඇතැයි වාර්තා වේ.

දැනට සිටින අනුප්‍රාප්තිකයන් අතර සහකාර පොලිස් අධිකාරි කාලයේ සිට ජ්‍යෙයෂ්ඨත්වයෙන් ඉදිරියෙන් ම සිට ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් මහතා ය.

එහෙත් ඔහු නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්වීම් ලැබීමේදී තාක්ෂණික කරුණක් මත සිදු වූ ලකුණු කප්පාදුවකින් ජ්‍යෙෂ්ඨතා ධූරාවලිය වෙනස් වී ඇතැයි වාර්තා වේ.

එම අවධියේදී තෙන්නකෝන් මහතාගෙන් පසු පිළිවෙළින් ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙළෙහි සිට ඇත්තේ ලලිත් පතිනායක හා නිලන්ත ජයවර්ධනයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධූරයේ සිට නියෝජ්‍ය පොලිස්පති ධූරය සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියදී පොලිස්පති ප්‍රශංසා දත්ත ඇතුළත් කිරීමේදී වූ තාක්ෂණික කරුණක් මත ලකුණු 4ක් කපා දැමීමෙන් තෙන්නකෝන් මහතාගේ ස්ථානය වෙනස් වී තිබේ.

පොලිස්පති ප්‍රශංසා ලේඛනයට 230 බී පෝරමය වෙනුවට පැරැණි ආකෘතියෙන් දත්ත සැපයීම ඊට හේතුව වී ඇත.

ඉන්පසු ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙළ සකස් වී ඇත්තේ නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක හා දේශබන්දු තෙන්නකෝන් වශයෙනි.

එහෙත් ශ්‍රී ලංකා පොලිසියෙහි සිය සේවා කාලය තුළ බහුවිධ අංශවලින් දේශබන්දු තෙන්නකෝන් මහතා පෙන්වා ඇති කුසලතා හා ඔහුගේ අත්දැකීම් ගැන මේ වනවිට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

වර්තමානයෙහි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ මර්දනයේදී කළ මැදිහත්වීම කැපී පෙනෙන අංශයකි.

විශේෂයෙන් ම, මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා ආරක්ෂක හමුදා ද ඒකාබද්ධ කර ගනිමින් දියත් කළ විශේෂ මෙහෙයුම් නිසා මත්ද්‍රව්‍ය මාෆියාවේ සැලකිය යුතු මහ මොළකරුවන් පිරිසක් ආසන්න කාලයේදී පොලිස් අත්අඩංගුවට පත්විණි.

එසේ ම, කොවිඩ් – 19 වසංගත සමයේදී ජාතික ප්‍රවාහන සේවා බිඳ වැටී මහජන සේවාවලට බාධා පැමිණි අවස්ථාවේදී ඒවා යථාවත් කිරීමට දේශබන්දු තෙන්නකෝන් මහතා මැදිහත් වී සකස් කළ වැඩපිළිවෙළ එකල බොහෝ පිරිසකගේ ප්‍රශංසාවට ද ලක්විය.

සහකාර පොලිස් අධිකාරිවරයෙකු වශයෙන් පොලිස් සේවයට බැඳුණු දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙහි කීර්තිමත් ආදි සිසුවෙකි.