දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙනවා.
වගකීම් විරහිත ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බැවින් අදාල දේවගැතිවරයා කළ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කොට තමාට වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත ඉහත නියෝගය ලබා තිබෙන බව සඳහන්.
දේවගැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා දුන් නියෝග පරිදි වහා පරීක්ෂණයක් අරඹන ලෙස සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැති වරයෙකු බුදුන් වහන්සේට අපහාසයක් වන ප්‍රකාශයක් කළැයි මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත නියෝගය නිකුත් කළ බවයි සඳහන් වන්නේ.

