Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති කංචන දෙරණෙන් ගේම ඉල්ලයි

3 years ago

දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර මහතාට අයත් ‘අරුණ’ පුවත්පත පසුගිය 25 වනදා වාර්තා කර ඇති පුවතක් හරහා තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද දැඩිලෙස උල්ලංඝණය වී ඇති බවට විදුලිබල හා ඛනිජතෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා ලිපියක් මගින් කතානායකවරයා වෙත දැනුම්දී තිබෙනවා.

අදාළ ලිපියෙහි දැක්වෙන්නේ පසුගිය 24 වනදා පැවති පාර්ලිමේන්තු විවාදය අතරතුර සමගි ජනබලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් තමන් පිළිබදව සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් සහ උපකල්පනයක් පදනම් කරගනිමින් අරුණ පුවත්පතෙහි නිලන්ත මදුරාවල නැමැති මාධ්‍යවේදියා මෙම පුවත වාර්තා කොට තිබූ බවයි.

එමෙන්ම දෙරණ මාධ්‍ය ජාලයට අයත් TV දෙරණ රූපවාහිනි නාලිකාවේ උදෑසන පුවත්පත් කියවන වැඩසටහන වන ‘දෙරණ අරුණ’ වැඩසටහන හරහාද “තෙල් ඇමතිට දුව පෙන්නා ෂෙඩ් 150 ක් ගත්තා” යන සිරස්තලයෙන් යුත් අදාළ පුවත නැවත වරක් ඉදිරිපත් කර තිබූ බවද කංචන විජේසේකර මහතා ලිපිය මගින් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් අදාළ සිදුවීම වරප්‍රසාද කමිටුවට යොමු කර ඊට අදාළ සියලුම පාර්ශවයන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසට ලිපිය මගින් කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මීට අමතරව අදාළ පුවත වාර්තා කළ ලංකා නිවුස් වෙබ් අඩවිය, Breaking LK, Andaharaya, Voice of Lanka, Lanka News24, Gossip මල්ලි යන සමාජ මාධ්‍ය පිටුවල පාර්ශවයන්ද වරප්‍රසාද කමිටුව වෙත කැඳවන ලෙසට කංචන විජේසේකර අමාත්‍යවරයා තවත් ලිපියක් මගින් කතානායකවරයා දැනුවත් කර තිබෙනවා.