සැත්කමක් සිදුකර වසරක් සහ මාස හතක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ගුරුවරියක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
මියගිය ගුරුවරියගේ ඥාතීන් චෝදනා කරන්නේ වෛද්‍යවරුන්ගේ සහ රෝහල් කාර්යමණ්ඩලයේ නොසැලකිළිමත්භාවය හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටය.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි වියේ පසුවූ කළණි ඉරෝෂා පෙරේරා නමැති ගුරුවරියකි.
කොළඹ සංඝමිත්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති ඇය පසුව ගෝතමී විද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හදාරා තිබුණාය.
අනතුරුව උසස්පෙළ කඩඉම ජයගත් ඇය සබරගමුව විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය නිමකර තිබුණාය.
කලක් තිස්සේ තමන් දුටු සිහිනය සැබෑවක් කරමින් පාසල් අවධියේ පටන් ම දක්ෂ ක්‍රීඩිකාවක් වන ඇය 2021 වසරේදී කොළඹ මියුසියස් විද්‍යාලයේ සෞඛ්‍ය හා ක්‍රීඩා අංශ ගුරුවරියක් ලෙස සේවයට එක්වූවාය.
එහෙත් ඇයගේ ජීවිතයේ ලස්සනම කාලය ඇරඹුණු මොහොතේම දරුණු උදරයාබාධයක් වැළඳී තිබේ.
සිය පත්වීම ලබා මාස 05කට පසු පැමිණි මේ අවාසනාවන්ත දිනයේ සිය ආබාධය සඳහා ප්‍රථමයෙන් ප්‍රතිකාර ගැනීම සඳහා රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු හමුවෙයි.
එහිදී ඇයට සහ ඥාතීන්ට දැනගැනීමට ලැබෙන්නේ අදාළ වෛද්‍යවරයා රාගම රෝහලේ වෛද්‍යවරයෙකු බවය.
මූලික ප්‍රතිකාර සිදුකළද ඉන් ඵලක් නොවූ තැන අසාධ්‍ය වූ කළණි ඥාතීන් විසින් ඔවුන් ප්‍රතිකාර ලබාගත් වෛද්‍යවරයා සේවයේ නිරත රාගම රෝහලේ වාට්ටුවක් වෙත ඇතුළත් කර තිබේ.
අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී පිත්තාශයේ ගල් ඇතිවීම හේතුවෙන් ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බවට අනාවරණය වී ඇති අතර වෛද්‍ය නිර්දේශය අනුව කඩිනමින් සැත්කමක් සිදුකර පිත්තාශයේ ගල් ඉවත්කිරීමට පියවර ගත් බව ඥාතීන් පවසයි.
කෙසේ වෙතත් අදාළ සැත්කමින් පසුව යළි පියවි සිහියට නොපැමිණි ඇයව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
ඥාතීන් ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයාගෙන් කළ විමසීමකදී පවසා ඇත්තේ තත්ත්වය හොඳ අතට හැරෙනු ඇති බවය.
සැත්කම සිදුකිරීමෙන් අනතුරුව මොළයට ඔක්සිජන් නොලැබීම නිසා හදවත නැවතී ඇති හේතුව මත සිය දරුවා දැඩිසත්කාර ඒකකයට යොමුකර ඇති බව ඔවුන්ට පසුව අනාවරණය වූ බව ඥාතීන් පවසයි.
අනතුරුව 2022 වසරේදී ස්නායු රෝගී ඒකකයකටත් පසුව එම වසරේදීම රාගම පුනරුත්ථාපන රෝහලටත් තම දරුවා මාරුකළ බව කළණිගේ ඥාතීන් පවසයි.
දිගු කලකට පසුව ඔවුන්ට සායනයකදී අනාවරණය වී ඇත්තේ පිත්තාශයේ ගල් ඉවත්කිරීමේදී තාවකාලිකව බටයක් යොදා තිබුණද එය නිසි කාලසීමාවේදී ඉවත් කර නොමැති බවය.
එහිදී ඥාතීන් වැඩිදුරටත් චෝදනා කරන්නේ ස්කෑන් පරීක්ෂණ රාශියක් සිදුකර අවසානයේ නිර්වින්දන වෛද්‍ය සහාය ගෙන 2023 මැයි 6 වන දා එම බටය බොහෝ වෙහෙසක් දරා ඉවත් කරද දැඩි අපහසුතාවෙන් සිටි රෝගියාව එක් දිනකින්ම ටිකට් කපා යැවූ බවය.
මැයි මස 08 වනදා නැවතත් අසාධ්‍ය වූ කළණි රාගම රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලෙසට ඉල්ලීම් සිදුකළද එයට ප්‍රතිචාර නොලැබුණු බවත් අවසානයේ 18 වනදා දැඩි සත්කාර ඒකකයේදී කළණි අවසන් සුසුම් හෙලූ බවත් ඥාතීන් පවසා සිටී.
මෙම මරණයට හේතුව වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ල බවට චෝදනා කරන කළණිගේ ඥාතීන් රජයේ වගකිවයුතු පාර්ශ්වවලින් ඉල්ලා සිටින්නේ මෙම සිද්ධිය සඳහා සාධාරණ විමර්ශනයක් සිදුකරන ලෙසටය.
දියණිය සනීප කරගැනීම සඳහා තමන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය බවත් වැඩිමහල් සොහොයුරියගේ අකල් වියෝව සමඟ ඇයගේ කුඩා නැගණිය මහත් කම්පනයට පත්ව සිටින බවත් පෙන්වාදෙන කළණිගේ මව පවසන්නේ “දොස්තරලාට රෝගීන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා” යන්නයි.
එසේම ඇය වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසන්නේ උපාධිධාරී ගුරුවරියක් වන සිය දියණිය එම තත්ත්වයට ගෙන ඒමට මවුපියන් ලෙස තමන් අප්‍රමාණ කැපවීම් සිදුකළ බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කළණිගේ මව්පියන්….
“දොස්තරට මගේ දරුවා තවත් ලෙඩෙක් විතරයි. ඒත් මේ වෛද්‍යවරුන්ගේ වරදින් සිද්ධවුණු අකල් මරණෙන් රටට අහිමි වුණේ අමිල වස්තුවක්. අපි ඉල්ලන්නෙ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් මේකට සාධාරණ පරීක්ෂණයක්. තාවකාලික පැලැස්තර විසඳුමක් නෙවෙයි. මේ වගේ වෛද්‍යවරුන් අතින් තවත් ජීවිත මරු වැළඳ ගන්න කලින් මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා දැනටමත් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අංශවලට ලිපි ඉදිරිපත් කරලා තියෙනවා.”

