අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමු කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවක නියෝගයක් පසුගිය අප්‍රේල් මස 24 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.
ඉකුත් මැයි මස 29 වනදා ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ ඩයනා ගමගේ අමාත්‍යවරිය එම නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙරම එය ලබාගන තිබෙන බව ප්‍රකාශ කර තිබුණේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ආවේෂණ පරීක්ෂණයක් සිදුකළ බවත් එහිදී අදාළ නඩු තීන්දුව මුලින්ම පළවී තිබුණේ ඕෂල ලක්මාල් නමැත්තෙකුගේ සමාජ මාධ්‍ය ගිණුමේ බවත් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අප්‍රේල් මස 24 වනදාට පෙර එම තීන්දුව කිසිදු සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ පළවී නොතිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා සිටියේය.
මීට අදාළව ඔෂල හේරත් මහතාගෙන් ප්‍රකාශයක් සහටන් කරගත් බවත් එම ප්‍රකාශයට අනුව අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වී දින හතරකට පසුව ඔහු විසින් එහි පිටපත් ලබාගෙන තිබෙන බව අනාවරණයවී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා කියා සිටියේය.
මීට අදාළව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍යව තිබෙන හෙයින් එම ප්‍රකාශය සටහන් කරගෙන වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ප්‍රකාශය තුළින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කළේය.
ඒ අනුව ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අදාළ පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලීම් කළේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණුවලට සවන් දුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ඊට අදාළ කටයුතු සඳහා මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ සහතික පිටපතක්, ඇය විසින් අදාළ රූපවාහිනී සාකච්ඡාවේදී කරන ලද ප්‍රකාශය අන්තර්ගත සංයුක්ත තැටිය සහ සෙසු ලේඛන ද අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේය.

