නව කැලණි පාලම අනතුරට ලක්වන අයුරින් ඇණ මුරිච්චි ගලවාගෙන යන මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ගෙන් බේරාගැනීම සඳහා එය අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
එමෙන්ම මෙම ප්‍රදේශයට පොලිස්, හමුදා මුර සංචාර හා පොලිස් මුරපොළක් යෙදවීමටත් තීරණය කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් නව කැලණි පාලමේ යටින් රිංගා දිගින් දිගටම ඇණ ගලවන බවට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ සභාපතිත්වයෙන් යුතුව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ මොහොතේදී පෙන්වා දී තිබේ.
දිගින් දිගටම සිදුවන සොරකම හේතුවෙන් නව කැලණි පාලම අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකි බවද එම නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මෙම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විසින් කටුනායක අධිවේගී මාර්ගයේත් තඹ කම්බි, ඇණ මුරිච්චි හා විදුලි රැහැන් කපාගෙන යන බවද හෙළිවී තිබේ.
රුපියල් මිලියන 286ක් වටිනා තඹ කම්බි මේ වනවිටත් කපාගෙන ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත.

