Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හඟුරන්කෙත රත්කළ සිදුවීමේ නොදන්නා කතාව මෙන්න! 23 හැවිරිදි තරුණයාගේ හිසට මිටියකින් පහර දී මරා දමලා!

3 years ago

මුහුණට මිරිස් කුඩු ගසා හිසට මිටියකින් පහරදී බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිට මියගිය තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පා හඟුරන්කෙත පොලීසියට ගම්වාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණි.

ඊයේ (26) රාත්‍රියේ එම පිරිස කලහාකාරීව හැසිරීම හේතුවෙන් තත්ත්වය පාලනයට පොලීසිය විසින් අහසට වෙඩි තබා තිබුණි. පසුගිය 21 වැනිදා එම අවාසනාවන්ත සිදුවීමට මුහුණදුන්නේ, 23 හැවිරිදි සඳළු සන්තුෂ් නැමැති තරුණයෙකි.

අදාළ සිදුවීමෙන් සඳළුගේ පියාට ද තුවාල සිදුව තිබුණි. ඔවුන් දෙදෙනාම මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 26 වනදා සඳළු අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන්නේය.

ඔහු ජපානයේ රැකියාවක් සඳහා යෑමට පාඨමාලාවක් හදාරමින් සිට ඇත. මියගිය තරුණයාගේ පියාට අයත් ඉඩමක තිබූ නිවසක් ප්‍රදේශයේ කාන්තාවක් විසින් බලහත්කාරයෙන් අයිතිකර කරගෙන තිබූ බවට ඥාතීන් පවසයි.

ඊට එරෙහිව නීතිය හමුවට ගිය තරුණයාගේ පියාට යළි එහි හිමිකාරිත්වය ලැබී තිබුණේ අධිකරණය නියෝගයට අනුවය.

ඒ අනුව පසුගිය 21 වැනිදා සංතුෂ්ගේ මව සහ පියා එම නිවසට ගොස් තිබුණේ නිවස පිරිසිදු කර නිවසේ දොරට අගුළු සවිකිරීම සඳහාය. එහිදී නිවස බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි කාන්තාව ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ කලහාකාරී ලෙස හැසිරී තිබේ.

එහිදී ඔවුන් සංතුෂගේ මවට සහ පියාට පොලු මුගුරුවලින් පහර දී නිවස තුළට දමා වසා ගොස් ඇති අතර 119 දුරකථන අංකය අමතා පොලීසියේ සහායෙන් ඔවුන් නිවසින් පිටතට පැමිණ ඇති බව වාර්තා වේ. පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ගැටලුව සමතයකට පත් කිරීම සඳහා දෙපිරිසට පොලීසියට පැමිණෙන ලෙස දන්වා එම ස්ථානයෙන් පිටත්ව ගිය පසු නැවතත් අදාළ කාන්තාව ඇතුළු පිරිස සංතුෂ්ගේ මවට සහ පියාට මිරිස්කුඩු මිශ්‍ර වතුර ගසා තිබේ.

ඒ අනුව නිවසින් පිටවීමට නොහැකිව සිටි සංතුෂ්ගේ පියා සිය පුත්‍රයාට දුරකතන ඇමතුමක් ලබා දී ඔවුන්ව එම ස්ථානයෙන් රැගෙන යන ලෙස කළ දැනුම් දීමකට අනුව සංතුෂ් එම ස්ථානයට පැමිණ තිබුණි.

සංතුෂ්ගේ පැමිණීමත් සමඟ යළිත් අදාළ කාන්තාව ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණි අතර එහිදී දෙපිරිස අතර යළි ගැටුමක් හටගෙන තිබුණි.

එම අවස්ථාවේ කාන්තාව සමඟ පැමිණි පිරිමි පුද්ගලයින් සංතුෂ්ට පහර දී ඇති අතර ඉන් එක් අයෙක් සංතුෂ්ගේ ඔළුව පිටුපසට මිටියකින් පහරදී තිබේ. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සංතුෂ් හඟුරන්කෙත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අතර එම අවස්ථාවේම ඔහුව මහනුවර ජාතික රෝහලට මාරු කර යැවුණි.

කෙසේ වෙතත් පහරදීමෙන් තුවාල ලබා සිටි සංතුෂ්ගේ පියාගේ හිසට හඟුරන්කෙත ප්‍රාදේශීය රෝහලේදී මැහුම් 15ක් යොදා තිබූ අතර නුවර මහ රෝහලට ඇතුළත් කෙරුණු සංතුෂට මැහුම් 52ක් දමා දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබේ.

එහි දින 4ක් ප්‍රතිකාර ලබමින් සිටි සංතුෂ් ඊයේ (26) උදෑසන මිය ගියේය. ඉන් කෝපයට පත්වූ ප්‍රදේශවාසීන් අදාළ කාන්තාවගේ නිවසට සහ ඇයට අයත් බව කියන වෙළෙඳසැලකට ගිනි තබා විනාශ කර තිබුණි. සංතුෂ්ගේ දේහය මේ වනවිට ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (28) සිදුකිරීමට නියමිතය.

මේ අතර මියගිය හඟුරන්කෙත තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 8දෙනෙක් පොලීසියට භාරවී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසා සිටියේ, එම පිරිස මහනුවර පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට පත් පිරිස අතර, 48 හැවිරිදි කාන්තාවක් හා අවුරුදු 19ත් 63ත් අතර වයස්වල පුද්ගලයින් පිරිසක් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔවුන් මතුරට, රිකිල්ලගස්කඩ හා උඩවත්තකුඹුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මේ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අධීක්ෂණය යටතේ, කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා හඟුරන්කෙත පොලීසිය විමර්ශන සිදුකරමින් පවතින බවත් සැකකරුවන් වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.