වවුනියාව තොනිකල් සර්කියුලර් මාර්ගයේ නිවසකට කඩු සහ පොලු රැගෙන අද (23) අලුයම කඩාවැදුණු පිරිසක් එහි සිටි පිරිසකට පහරදී නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තරුණියක මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා වවුනියාව රෝහලට අැතුළත් කොට අැතැයි වවුනියාව පොලිසිය කියයි.
උපන්දින සාදයක් අතරතුර මුහුණු අාවරණයකොට කඩු සහ පොලු රැගෙන පැමිණි පිරිස සාදයේ සිටි පිරිසට පහරදී නිවසේ සිරකොට අැතැයි පොලිසිය කියයි.
අදාල පිරිස නිවසේ සිරකොට සිටියදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට අැති අතර එ සමගම නිවස ගිනිගැනීමකට ලක්ව අැති බවත් ගින්නෙන් නිවස අැතුලත සම්පූර්ණයෙන් හානි සිදුව අැති බවත් පොලිසිය පැවසීය.
ගින්නත් සමඟ සාදයේ සිටි නවදෙනකු නිවසින් පිටතට පැන දිවිබේරාගෙන ඇති අතර වවුනියාව තෝනිකල්, සර්කියුලර් මාර්ගයෙ පදිංචි ෆාතිමා සම්මා සෆීදීර් (21) තරුණිය පහරදීමෙන් හා ගිනිගැනීමෙන් තුවාල ලබා නිවසතුල මියගොස් අැතැයිද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
ඇයගේ දෙහැවිරිදි පිරිමි දරුවාද සිද්ධියෙන් තුවාල ලබා තිබෙනවා.
වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන ඇති බවට වවුනියාව පොලිස් ස්ථානයට හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු පණිවිඩයක් හරහා පොලිසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබුණා.
පසුව වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකය, වවුනියාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපත්වා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ගිනි ගැනීමට ලක්වූ නිවසේ පදිංචි පුද්ගලයා මුදල් පොලියට දීම සහ තවත් ව්‍යාපාර සිදු කරමින් සිටි අයෙක් බව ප්‍රදේශවාසීන් පවසනවා.
මියගිය කාන්තාවගේ දරුවාගේ උපන්දින සාදය පැවැත්වෙමින් තිබු අවස්ථාවක මෙම ප්‍රහාරය සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.

