Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Show එක ගහන්න නොදුන්නොත් යුනිෆෝම් ගලවනවා! සුප්‍රසිද්ධ සංගීත සංදර්ශන සංවිධායකයාගෙන් රාජාංගණයේ OICට තර්ජන!

3 years ago

රාජාංගණය, යාය 18 ප්‍රදේශයේ දින විස්සක් පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබූ සංගීත සැණකෙළි කාලය දීර්ඝ කිරීමට හා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ලබා නොදීම නිසා උරණ වූ අදාළ සමාගමේ සභාපතිවරයා සංගීත සැණකෙළි භූමියේදී තමාට බැන තර්ජනය කොට රාජකාරියට බාධා කළ බව පවසමින් රාජාංගණය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්. ගජසිංහ විසින් පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ තබන ලද සටහනක් සම්බන්ධව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (111) අමිල සෙනෙවිරත්න විමර්ශනයක් ආරම්භ කොට ඇත.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත සී. ධමින්ද සහ අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත එම විමර්ශනය ආරම්භ කොට තිබේ.

ඉකුත් 10 වන දා සිට විශාල ශබ්දවාහිනි පද්ධති හා අලංකාර රටා මවන විදුලි ආලෝක ධාරා මධ්‍යයේ දින දහහතරක් තිස්සේ රාත්‍රිය පුරාවට පැවති එම සංගීත සැණකෙළියට සම්පූර්ණ දින ගණන දින විස්සක් දක්වා තවත් දින හයකට දීර්ඝ කර දෙන ලෙසට කළ ඉල්ලීමක් පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් විරංජිත් තාඹුගල ඔහුට මෙලෙස බැන තර්ජනය කොට ඇතැයි කියයි.

මේ අතර, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වෙසෙන සත්ව ප්‍රජාවට සංගීත සැණකෙළියේ ශබ්දය හා ආලෝක ධාරා ඉමහත් පීඩාකාරී තත්ත්වයක් බැවින් එම සැණකෙළිය පැවැත්වීම සඳහා ඉදිරියටත් අවසර ලබා නොදෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිසිය වෙතින් කර තිබූ ඉල්ලීමක් සලකා පොලිසිය සංගීත සැණකෙළියට ශබ්ද විකාශන භාවිතයට බලපත්‍ර ලබා නොදීමට තීරණය කොට තිබිණි.

එකී පෞද්ගලික සමාගමේ සභාපතිවරයා තමන්ට බැන තර්ජනය කළ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගනු නොලැබුවේ ඒ වනවිටත් එම භූමියේ පන්දහසක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති බත් දන්සලක් නිසාත් එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ නම්, මහජන සාමය කඩවීමට ඉඩ තිබූ නිසා බව ත් පොලිස් ස්ථානාධිපති ගජසිංහ මහතා පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ සටහන් කොට ඇතැයි ද පැවසේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව අද (ජූලි 26) දින බී වාර්තාවක් මගින් නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.