Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දකුණු පළාතට පැය 3ක විදුලි කප්පාදුවක් ?

3 years ago

මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යට‌තේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශවී යාමේ තත්ත්වයට මුහුණ පා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෘෂිකර්ම, මහවැලි, වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යාංශ නිලධාරින් සමග සමනලවැවේ සිට උඩවළවේ ජලාශයට දින 10කට සෑහෙන ජලය ප්‍රමාණයක් ලබා ගැනීම සම්බන්ධව පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරි සතියක කාලය තුළ වී වගාවෙන් රුපියල් බිලියන 16.81ක අලාභයකුත්, විදුලිබල නිෂ්පාදනය අඩාලවීම නිසා රුපියල් බිලියන 1.6ක අලාභයකුත් සිදු විය හැකි බවට මෙහිදී අනාවරණ කෙරුණා.

එමෙන්ම ජලය නොලැබීම හේතුවෙන් කෙසෙල් සහ අනෙකුත් බෝග වගාවන්ට සිදුවන හානිය නිසා සමස්තයක් ලෙස රුපියල් බිලියන 30ක පාඩුවක් සිදු විය හැකි අතරම මෙම වසරේ සහල් නිෂ්පාදනයට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

විදුලි බල මණ්ඩලයේ නිලධාරින් ප්‍රකාශ කරන පරිදි මේ වනවිට සමනල වැව ජලාශයේ ජල ධාරිතාවය MCM 87.9 (Million Cubic Meters) දක්වා පහත බැස තිබෙනවා.

දින දහයක් ජලය ලබා දුනහොත් එම ජල මට්ටම MCM 60 දක්වා පහත බසින අතර දකුණු පළාතට පැය 01 සිට 03 දක්වා වූ විදුලි කප්පාදුවක් කිරීමට ද සිදුවන බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.

විදුලි කප්පාදුව වළකා ගැනීමට නම් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට සිදුවන බවට එහිදී ප්‍රකාශ වී තිබෙනවා.