Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ පූර්ණ අනුග්‍රහයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක්

3 years ago

රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කර ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කරනවා.

ඔහු එසේ සඳහන් කළේ ඊයේ (03) දිනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙයට පෙර අවස්ථා 13ක දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට උත්සාහ කර අසාර්ථක වූ පසුවත් නැවත රජයේ අනුග්‍රහයෙන්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3ක් ආරම්භ කිරීම වෛද්‍ය උපාධියේ ගුණාත්මක බව හෑල්ලු කිරීමක් බවත් එය ඍජුවම මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මක බවට හානි කරන බවත් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වා දෙනවා.

මෙම සැලසුමට එරෙහිව කටයුතු කිරීමට සිය සංගමය තීරණය කළ බවයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවසුවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල හරහා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට ද ඉන්දියාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට අත් වූ ඉරණමම අත්වනු ඇති බවයි.

කිසිඳු පාලනයකින් තොරව වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට ඉඩ ලබාදීම හරහා ඉන්දීය වෛද්‍ය පීඨ වලින් අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන් ව්‍යාජ වෛද්‍යවරුන්ට වඩා හොඳ වන්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයකින් බව ඉන්දීය සෞඛ්‍ය ලේකම්වරයා විසින්ම පැවසූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව තුල පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ආරම්භ කරන්නේ නම් එසේ කරන්නේ කුමන කාරණාවක් පදනම් කරගෙන ද, රටට කොතරම් වෛද්‍යවරුන් අවශ්‍ය ද, රජයේ වෛද්‍ය විද්‍යාල හරහා කොපමණ ප්‍රමාණයක් වෛද්‍යවරුන් නිෂ්පාදනය කරන්නේ ද යන කාරනා පදනම් කරගෙන ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් රජය විසින් ගත යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා. එවැනි විද්‍යාත්මක ප්‍රවේශයකින් මෙම තීරණ ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බැළීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් නමුත් දේශපාලන උවමනාකම් මත මෙම තීරණ ගන්නේ නම් ඊට විරුද්ධ වන බවත් ඔහු පවසනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ඇත්තේ අඩු වැටුප් තලයන් නිසා ඉන්දියාවේ සිටින දක්ෂ වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවට නොපැමිණෙනු ඇති බවත් ගුණාත්මකභාවයෙන් අඩු වෛද්‍යවරුන් පැමිණීමට විශාල ඉඩක් ඇති බවත් ඒ හරහා මෙරට රෝගීන්ගේ ජීවිත අවධානමට ලක් වෙන බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.