Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආණ්ඩුවේ දෙදරීමක්! රාජ්‍ය ඇමතිලාගෙන් කැරැල්ලක්!

3 years ago

කැබිනට් අමාත්‍යවරුන් වෙතින් දිගින් දිගට ම අමාත්‍යාංශවල කටයුතු භාර රාජ්‍ය අමාත්‍යවරුන්ට එල්ල වන කෙනෙහිලිකම්වලට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව රාජ්‍ය අමාත්‍ය කණ්ඩායමක් එක්ව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

විවිධ අමාත්‍යාංශවල රාජ්‍ය ඇමතිවරුන්ට ජනතාවට සේවය කිරීමට අවශ්‍ය පහසුකම් ලබා නොදීම සම්බන්ධයෙන් කඩිනමින් ජනාධිපතිවරයාට සන්දේශයක් භාර දීමට මෙහිදී සාකච්ඡා වූ බව රාජ්‍ය ඇමතිවරයෙක් පැවසීය.

රාජ්‍ය අමාත්‍ය විෂය පථයට සම්බන්ධ කරුණු මෙන් ම මුදල් වෙන් කිරීමට සම්බන්ධ කරුණුද මෙහිදී සාකච්ඡාවට භාජනය වී තිබේ.

එහිදී බොහොමයක් අමාත්‍යාංශවල රාජ්‍ය ඇමතිවරුන්ට ලබා දී ඇති විෂය පථයට අයත් වන්නේ, මේ වන විට භාවිතයේ නොමැති ආයතන හෝ වසා දමා ඇති කර්මාන්ත ශාලා බවත් සමහර ආයතනවල ආරක්ෂක අංශ කඳවුරු බැඳ ඇති බව ත් එහිදී තරුණ ඇමතිවරයෙකු සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිහිප අවස්ථාවකදී ම දැනුවත් කරනු ලැබුවත් නිසි පිළිතුරක් නොලැබීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් චෝදනා එල්ල කර තිබුණ ද එක් ඇමැතිවරයෙකු සඳහන් කර තිබුණේ, කඩිනමින් ජනාධිපතිවරයා කැබිනට් සංශෝධනයකට නොයන්නේ, රටේ පවතින දේශපාලනික තත්ත්වය හේතුකොට ගෙන බව ය.

අමාත්‍යාංශ බොහොමයක ලේකම්වරුන් සමග කටයුතු කිරීමේදී ගැටලු රාශියක් මතු වීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයකු පත් කර ගැනීමේ අවශ්‍යතාව හා වෙන ම විෂය පථයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාව ද රාජ්‍ය ඇමතිවරයෙක් පැහැදිලි කර දී තිබේ. එසේ ම රාජ්‍ය අමාත්‍යාංශයට වෙන ම වැය ශීර්ෂයක් ලැබිය යුතු අතර ප්‍රධාන අමාත්‍යාංශය යටතේ පවතින මුදල් වෙන් කිරීම් සිදු කිරීමේදී ගැටලු මතුවන බව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

මේ සියලු යෝජනා ඇතුළත් යෝජනාවලියක් කඩිනමින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට හා ලබන සතිය වන විට මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වී විශේෂ සාකච්ඡාවක් සිදු කිරීමට රාජ්‍ය ඇමති කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබේ. (මව්බිම)