Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හත් දෙනෙකුට ජීවිතය දී අකාලයේ මිලින වූ විහඟනාට උසස් පෙළට විශිෂ්ඨ ප්‍රතිඵලයක්

3 years ago

මොළය මියගිය දැරියකගේ සිරුරේ අවයව කොටස් කිහිපයක් සාර්ථකව බද්ධ කිරීමේ පුවතක් පසුගිය මාර්තු මාසයේදී වාර්තා විය.

මෙලෙස මොළය මියයාම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගියේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උසස්පෙළ සිසුවියක් වූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ දැරියයි.

ඊයේ සියලු හදවත් සංවේදී කරවමින් අසන්නට ලැබුණු තවත් පුවතක් මෙලෙස වාර්තා විය.
ඒ විහඟනා මෙවර උසස්පෙළ විභාගය ඉහළින් ම සමත්ව ඇති බව සඳහන් පුවතයි.

වාණිජ අංශයෙන් 2022 (2023) උසස්පෙළ විභාගයට මුහුණ දුන් ඇය A සාමාර්ථ ත්‍රිත්වයක් ලබාගනිමින් එම කඩඉම ඉහළින්ම ජයගෙන ඇත.

එහෙත් එම සතුට සමරන්න සැවොම බලා සිටියද විහඟනා නැවත එන්නේ නැත.

ඇය දන්දුන් ශරීර අවයව සමග ජීවත් වන යළි ජීවිතය ලබාගත් පුද්ගලයින් සමග ඇයගේ මතකය සදාතනිකව සැම හදවත් තුළ රැඳෙනු ඇත.

විහඟනා වීරසිංහ අඹන්පොල නගරයෙ පදිංචි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලම දරුවාය.
ඇයට වැඩිමහල් සොහොයුරෙක් සහ සොහොයුරියක් සිටී.

විහඟනා උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රිසි මාධ්‍යයෙන් හදාරා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙක් වන අතර ඇයගේ සහෝදරිය වයඹ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටී.

අනුරාධපුරයේ ඉදිකෙරෙමින් පවතින සඳහිරු සෑයේ ඉදිකිරීම් සඳහා ගඩොල් ඇදීමේ පුණ්‍යකර්මයට දායකවී නිවසට පැමිණි විහඟනාට හදිසියේ ඇති වූ හිසේ අමාරුවක් හා වමනය හේතුවෙන් රෝගී තත්ත්වයට පත්වුණි. ඒ අනුව මාර්තු 17 වනදා විහඟනාව ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කෙරුණි.

පසුව ඇයගේ රෝගී තත්ත්වය බරපතළ වීම හේතුවෙන් එදින රාත්‍රියේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

ඒ වනවිටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවු ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දීම මරණින් පසුව සිරුරු කොටස් දන්දීම සඳහා ගිවිසුම්ගතව සිටි බව පැවසේ.

කෙසේවෙතත් සියලුදෙනා හඬවමින් විහඟනා ඇගේ ජීවිතයට සමුදුන්නේ තවත් කිහිපදෙනෙකුට නිරෝගීව දිගු කලක් ජීවිත්වීමේ අපේක්ෂාව ඉතුරු කරමිනි.

මේ කතාව විශේෂත්වය වන්නේ එක් පුද්ගලයෙකුගෙන් ලබාගත් හදවතක් සහ පෙනහළු දෙකක් එකම රෝගියෙකුට එකවර බද්ධ කිරීම නිසාවෙනි.

මීට අමතරව ඇයගෙන් ලබාගත් වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කර තිබේ.


මේ අතර දැරියගෙන් ලබාගත් අක්මාව සහ අක්ෂි පටල ද තවත් පුද්ගලයන් තිදෙනෙකුට නිරෝගි ජීවිතයක් ලබාදීමට උපකාරී වී තිබේ.

මේ අනුව විහඟනාගේ සිරුරෙන් ලබාගත් අවයව කොටස් 5ක් පුද්ගලයින් 7දෙනෙකුට තවත් බොහෝ කලක් නිරෝගිව ජීවත්වීමට මහෝපකාරී වී ඇත.

විහඟනාගේ අවයව බද්ධ කළ රෝගීන් සියලුදෙනා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවිය.