Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නොරොච්චෝල බලාගාරය අර්බුදයක

3 years ago

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ මෙහෙයුම් ලබන නොවැම්බර් මස ආරම්භ කිරීම සඳහා පුහුණු පළපුරුදු විදුලි ඉංජිනේරුවන් නොමැති බව ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසනවා.

මෙගාවොට් 300ක ධාරිතාවකින් යුතු එම ජනන යන්ත්‍රය අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා දින 100ක කාලයක් නවතා ඇති අතර එම නඩත්තුව අවසන් වී එහි යළි මෙහෙයුම් කටයුතු නොවැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

එහෙත් එම කාලය වන විට නොරොච්චොලේ බලාගාරයේ මෙහෙයුම් අංශයේ විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරුවන් 40ක් අවම සිටිය යුතු බවත් එම කාලය වන විට එම පුහුණු පළපුරුදු ඉන්ජිනේරුවන් සංඛ්‍යාව 24 දක්වා අඩු වන බවට දැනුම් දී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.

මේ වන විටත් එහි මෙහෙයුම් කටයුතු සඳහා ඉංජිනේරුවන් 34ක් පමණක් සිටින බවත් සෙසු පිරිස විදෙස් ගත වී තිබෙන අතර තවත් පුහුණු ඉංජිනේරුවන් 10 දෙනෙකු ඉදිරි මාස දෙක ඇතුළත විදෙස්ගත වීමට සූදානමින් සිටින බවද සඳහන්.

එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයුම් අංශයේ ඉන්ජිනේරුවන් 12 දෙනෙකු සිටිය යුතු අතර ඔවුන්ගේ සහයක සේවා සඳහා අනිවාර්යයෙන් තවත් ඉංජිනේරුවන් සිවු දෙනකු කාර්යයන් සඳහා යොදා තිබෙන බවට වාර්තා වනවා.

මේ හේතුවෙන් දැනට සිටින ඉන්ජිනේරුවන් මේ සම්බන්ධයෙන් සිය පාලන අධිකාරිය දැනුවත් කර තිබෙන බවත් මෙම ගැටලුකාරි තත්ත්වයට මුහුණ දීම සඳහා දේශීය ඉන්ජිනේරුවන් බඳවා ගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇති බව ලංකා විදුලි බල මණ්ඩල සාමාන්‍යාධිකාරී, ඉන්ජිනේරු, රොහාන් සෙනෙවිරත්න මහතා පවසනවා.

කෙසේ නමුත් ලංකා විදුලි බල මණ්ඩල උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ජාතික විදුලිබල පද්ධතියට සුවිසල් සේවයක් ලබා දෙන නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර මෙහෙයුම් කටයුතු සඳහා පළපුරුදු ඉන්ජිනේරුවන් අවශ්‍ය බවත් මෙම සම්මුඛ පරීක්ෂණ හරගා ගන්නා නවක ඉන්ජිනේරුවරයෙකු ඒ සම්බන්ධයෙන් පුහුණු කිරීම සඳහා වසරකට වැඩි කාලයක් ගත වන බවයි.