රටේ අනාගත වැඩිහිටි ප්‍රජාවට හුදෙකලාව ජීවත්වීමට සිදුවීමේ ප්‍රවණතාවක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වෙනවා.
ඒ ශ්‍රී ලංකාවේ ජීවත් වන වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණයන්ගෙන් සියයට 80ක් සහ අවුරුදු 25ත් 36ත් අතර තරුණයන්ගෙන් සියයට 70ක් විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව විද්‍යාත්මක සමීක්ෂණයකදී අනාවරණය වී තිබීම නිසයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මහාචාර්ය ප්‍රසාදිනි ගමගේ ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම සමීක්ෂණය සිදු කරනු ලැබ ඇති අතර මේ සඳහා ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයන් 2946ක් සහ මේ වන විට විදේශගත වී ඇති 665 දෙනෙකු සහභාගි කරවා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම පිරිස අතරින් සියයට 58ක් සහ සියයට 42ක් කාන්තාවන් මේ සඳහා සහභාගි කරවා ගත් බව ත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 26ත් 35ත් අතරේ පසුවන්නන් වූ අතර සමීක්ෂණයට බඳුන් වූ සමස්ත පිරිසෙන් සියයට 57ක් විදේශගත වීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ කිසිදු අපේක්ෂාවක් නැති බවත් අනාවරණය වී තිබෙනවා.
එමෙන් ම මෙරටින් විදේශගත වූ උගතුන් දහසකට අධික පිරිසක් වන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ පවසන්නේ.
මේ වන විට පන්දහසකට වැඩි පිරිසක් මෙරටින් විදේශගත වී සිටින අතර කොරෝනාවලින් පසු මෙරටින් විදේශගත වන ප්‍රමාණය වැඩි වූ බවයි වාර්තා වන්නේ.
විදේශ කටයුතු අමාත්‍යාංශ පවසන්නේ තමන්ගේ වෘත්තීයට ගැලපෙන රැකියා සොයා ගැනීමට නොහැකිවී මෙවැනි තත්ත්වයන් උද්ගත වීම සඳහා හේතු වී ඇති බවයි.
කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තිකයන් බොහොමයක් විදේශ රටවල වෛද්‍ය වෘත්තියේ නියැලී සිටින බවයි වාර්තා වුයේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන්,සාමාන්‍ය වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් වැඩි පිරිසක් එංගලන්තය, ඕස්ට්‍රේලියාව යන රටවල සේවය කරන බවයි.(hiru)

