Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පන්තිය් දරුවන්ට ටියුෂන් දුන් ගුරුවරුන් 10කට ස්ථාන මාරු

3 years ago

සිය පන්තියේ සිසුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වූ මධ්‍යම පළාතේ ගුරුවරුන් දසදෙනකු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ස්ථාන මාරු කර තිබේ.

සිය පන්තියේ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම ගුරුවරුන්ට තහනම් කරමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයක් ඔවුන් විසින් උල්ලංඝනය කර තිබීම ඊට හේතුවයි. අදාළ චක්‍රලේඛය උල්ලංඝනය කළ මෙම ගුරුවරුන් දස දෙනා සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් පවත්වා තිබේ. ඊට අදාළව අමාත්‍යාංශය කළ නිර්දේශය අනුව දෙපාර්තමේන්තුව විසින් මෙය ක්‍රියාත්මක කර ඇත.

මෙම ගුරුවරුන්ගෙන් කිහිපදෙනකු ස්ථාන මාරුව භාර නොගෙන අභියාචනා ඉදිරිපත් කර තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් ද අවශ්‍ය කටයුතු කෙරෙන බව මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය. අභියාචනා විමර්ශනයෙන් පසු යම් ගුරුවරයකු ස්ථාන මාරුව භාර නොගන්නේ නම් එය සේවය හැර ගියා සේ සැලකීමක් බවද හෙතෙම කීවේය. සියලු ස්ථාන මාරු ලබාදී ඇත්තේ අදාළ අධ්‍යාපන කලාපය ඇතුළතදීම ය.

නිකුත් කර තිබෙන චක්‍රලේඛය උල්ලංඝනය කරන ගුරුවරුන් සම්බන්ධයෙන් සොයා බැලීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වැටලීම් ඒකකයක් ද ආරම්භ කර තිබේ.

සිය පන්තියේ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ එම පන්තිවලට පැමිණෙන දරුවන්ට ගුරුවරුන් විශේෂ කර සලකන බවට ලැබුණු පැමිණිලි හේතුවෙනි.

මේ වන විට තම පන්තියේ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම ගුරුවරුන්ට තහනම් කරමින් සබරගමුව පළාත ද චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.