2021 වසරේ පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් හරහා සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගිය අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මීට මාස තුනකට පෙර අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඇයගේ ඥාතීන් පවසන්නේ තමන් ඒ බව දැන ගත්තේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මගින් බවයි.
හොරණ අගුරුවාතොට ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තිදරු මවක් වන ඉරුෂිකා සදමාලි මරදාන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් හරහා 2021 වසරේ සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්ව යනවා.
නිරන්තරයෙන් මෙරට සිටින සිය දරුවන්ට සහ සහෝදරයාට දුරකථනයෙන් කතා කරන ඉරුෂිකා අවසන් වරට දුරකථන ඇමතුමක් ලබා දී තිබුණේ මීට මාස තුනහමාරකට පෙරයි.
නමුත් ඇගේ ඥාතීන් සදහන් කළේ ඉරුෂිකා සිය හාම්පුතුන් සමග විදේශ රටවලට යාමේදී මෙලෙස මාස ගණනාවක් පවුලේ අය සමග දුරකතන සංවාද සිදු නොකර සිටීම සාමාන්‍ය තත්ත්වයක් බවයි.
ඉරුෂිකාගේ දුරකථන ඇමතුමක් බලාපොරොත්තුවෙන් සිටි ඥාතීන්ට අවාසනාවන්ත ලෙස දැන ගැනීමට සිදු වුයේ මීට මාස තුනකට පෙර ඇය ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.
මදුරාවල වසමේ ග්‍රාම නිලධාරියා ඔවුන්ට ඒ බව දැනුම් දී තිබුණා.
ඉරුෂිකාගේ පියා පවසන්නේ ඇය 2023 ජූලි මස 18 වැනිදා ජීවිතක්ෂයට පත් වූ බව ග්‍රාම නිලධාරියා දැනුම් දුන් බවයි.
ඒ අනුව ඥාතීන් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් කළ විමසිමකදී අනාවරණය වී ඇත්තේ පෞද්ගලික විදේශ රැකියා ආයතනය ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් හරහා ඉරුෂිකාව විදේශ ගත කර ඇති බවයි.
ඒ හේතුවෙන් ඉරුෂිකා සම්බන්ධයෙන් තොරතුරක් නොදන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර තිබුණා.
මේ අතර ඉරුෂිකාගේ සහෝදරයා මෙම මරණය සැක සහිත බවට සදහන් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලයටද පසුගියදා පැමිණිල්ලක් සිදු කළා. (source – hiru news)

