පවුල් ආරවුලක් හේතුවෙන් තම බිරිඳට හිරමනයකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු එම නිවස තුළම ගෙල වැලලා ගෙන සියදිවි නසාගත් පුවතක් අලුත්ගම දන්වත්තගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේයි.
මියගොස් ඇති කාන්තාව අවුරුදු 32ක් වයසැති අයෙක් වන අතර සැමියාගේ වයස අවුරුදු 38කි.
මොවුන් දෙදෙනා දීර්ඝ කාලයක් තිස්සේ විවිධ හේතූන් මත ආරවුල් ඇතිකරගෙන තිබී ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඊයේ සවස ද දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු නිවසේ මුළුතැන් ගෙය තුළදී සැමියා විසින් බිරිඳගේ හිසට හිරමනයෙන් පහරදී තිබෙනවා. එම කාන්තාවගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇද වැටීමෙන් පසු ඇයගේ සැමියා එම නිවසේ ඉදිරිපස කාමරයේ ගෙළ වැළලාගෙන මිය ගොස් ඇතැයි සඳහන්.
මෙම අඹුසැමි යුවළට වයස අවුරුදු 12,10 සහ වයස අවුරුදු 6ක පිරිමි දරුවන් තිදෙනෙකු ඇති අතර,මෙම සිදුවීම සිදුවන මොහොතේ නිවසේ සිට ඇත්තේ කුඩා පිරිමි දරුවා පමණයි.
අනෙක් දරුවන් දෙදෙනාගෙන් එක අයෙකු අධ්‍යාපන කටයුතු සඳහා නිවසෙන් බැහැරව සිට ඇති අතර අනෙක් දරුවා මියගිය කාන්තාවගේ මවගේ නිවසේ සිට තිබෙනවා.

