ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පත්කළ අතුරු කමිටුවේ කාර්යයන් සහ බලතල දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අද (06) සිට බලාත්මක වන පරිදි එම අතුරු කමිටුව පත්කර ඇත.
1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියට අනුව පැවරී ඇති බලතල මත අමාත්‍යවරයා විසින් එම අතුරු කමිටුව පත්කර ඇති අතර, වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ අනුව තාවකාලිකව අත්හිටුවා තිබේ.
අර්ජුන රණතුංග මහතා සභාපතීත්වය දරණ එම කමිටුවේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් ,විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රකිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්ඩීන් යන අය සෙසු සාමාජිකයන් වේ.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රකිත රාජපක්ෂ හා ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතාගේ ඥාතියෙකු වන හිෂාම් ජමාල්ඩීන් ඒ අතර වෙයි.
2022 පන්දු වාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්රිත විශේෂ විගණන වාර්තාව මගින් හෙළිදරව් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් සිදුකරනු ලැබ ඇති දූෂණ, විෂමාචාර, අක්‍රමිකතා සහ යුතුකම් හා වගකීම් ඉටු කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය හෙයින් සහ අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ස්වාධීනව විනිවිද භාවයකින් යුතුව විශ්වසනීය ලෙස ඉටුකිරීමට අවකාශ සළසා දීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටවූ බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව පසුගිය සැප්තැම්බර් 11 වනදා විගණකාධිපති විසින් නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විමර්ශන කටයුතු සිදුකොට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම මෙම අන්තර් පාලන මණ්ඩලයට පැවරෙනවා.
එමෙන්ම අදාළ විමර්ශන අවසන් වනතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පරිපාලනය විධිමත්ව පවත්වාගෙන යාම මෙන්ම විගණකාධිපති වාර්තාවෙන් පෙන්වාදී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුව ඇති දූෂණ, විෂමාචාර සහ අක්‍රමිකතා නැවත සිදුවීම වළක්වාගැනීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමද මෙම අන්තර් පාලන මණ්ඩලයට පැවරෙන තවත් කටයුත්තක්.


