Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ විශිෂ්ඨ අයුරින් සමත් වී සරසවි ආරම්භය තෙක් ඇඟිලි ගනිමින් සිටි තරුණිය අවාසනාවන්ත අයුරින් දිවියෙන් සමුගනී

3 years ago

මව, පියා සහ දියණියන් දෙදෙනෙක් ගමන්ගත් ත්‍රීරෝද රථ යක් අනතුරකට ලක්වීමෙන් එක් දියණියක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

ගලේවෙල නගර මධ්‍යයේදී ඊයේ (23) දහවල් එම ත්‍රීරෝද රථය තාර ප්‍රවාහනය කරමින් තිබූ රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරෙන් තුවාල ලැබූ මව, පියා සහ අනෙක් දියණිය ප්‍රතිකාර සඳහා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයේ සිට කුරුණෑගල ප්‍රදේශයේ විවාහ මංගල්‍යයකට සහභාගිවීම සඳහා යමින් සිටියදී ඔවුන් එම අනතුරට මුහුණදී ඇත.

අනතුරෙන් මියගොස් ඇත්තේ සිරිපුර ප්‍රදේශයේ පදිංචි එස්. එච්. ලෝචනා කාව්‍යංජලි නම් 19 හැවිරිදි තරුණියකි. ඇයගේ 20 වන උපන් දිනය ද හෙටට (25) යෙදී ඇති බව ඥාතීන් පවසයි.

කුරුණෑගල දෙසට ත්‍රීරෝද රථය ගමන් කරමින් තිබියදී ගලේවෙල නගරයයේ ප්‍රධාන මාර්ගය අසල කැබ් රථයක් නවතා තිබී ඇත.

එය ඉස්සර කිරීමට යෑමේදී පිටුපසින් පැමිණි තාර ප්‍රවාහනය කරන රථය ත්‍රීරෝද රථයේ ගැටී අනතුර සිදුවී තිබුණි.

අනතුරු සිදුවීමත් සමග ත්‍රිරෝද රථය තුළ සිටි තරුණිය විසිවී තාර ප්‍රවාහනය කරන රථයට යටවී ඇත.

මිය ගිය තරුණිය පොළොන්නරුව, දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 2022 වසරේ කලා අංශයෙන් උසස් පෙළ හදාරා දිස්ත්‍රික්කයෙන්ම තෙවැනියා බවට පත් වූ බවත් සරසවි අපේක්ෂාවෙන් සිටි බවත් වැඩිදුරටත් දැනගැනීමට ඇත.

අනතුර සම්බන්ධයෙන් මාර්ගයේ නවතා තිබූ කැබ් රථයේ රියදුරු සහ තාර පිරවූ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.