ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තවත් ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු වන ‘අඟුලානේ සනා’ නමැත්තාට අයත් මොරගහහේනේ පිහිටි තුන්මහල් අති සුඛෝපභෝගී නිවසක් ඇතුළු රුපියල් කෝටි 20 ක පමණ දේපළ පවරාගැනීමේ මූලික විමර්ශන සඳහා එහි ගොස් සිටි වලාන දූෂණ මර්දන බළකායේ පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් කථා කර ඇති මෙම ජාවාරම්කරු තම දේපළ රජයට පවරා ගැනීමට කටයුතු නොකරන ලෙස ඉල්ලමින් හඬා වැටී ඇත.
ඉල්ලන ගාණක් දෙන්නම්, ඕනෙ උදව්වක් කරන්නම්, මං හම්බකරපු මගේ දේපළ රජයට පවර ගන්න එපා. අපිත් අමාරුවෙන් දැන් ජීවත් වෙන්නෙ. ඒ නිසා අපේ දේපළ අපට ඕනෙ යැයි කියමින් ඩුබායිහි සැඟවී සිටින අඟුලානේ සනා සහ ඔහුගේ බිරිඳ ජාත්‍යන්තර දුරකථන මාර්ගයෙන් පොලිස් නිලධාරීන්ට කථා කරමින් හඬා වැළපී ඇත.
‘ගොනා කෝවිලේ රොහා’ නමැති පාතාල නායකයාගේ සමීපතම ගෝලයා වන ‘සනා’ නමැත්තා රොහා ඝාතනය වීමෙන් පසු මෙම කුඩු ජාලය සියතට ගෙන තිබේ.
කාලයක් තිස්සේ මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් වලින් මොරගහහේන ප්‍රදේශයේ අතිසුඛෝපභෝගී තෙමහල් නිවසක් ඉදිකර තිබූ අතර කෝටි ගණනක් වැයකර තවත් දේපළ ලබාගෙන ඇත.
‘අඟුලානේ සනා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පිළිබඳව ලැබුණු තොරතුරු මත පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීහු මොහුට අයත් මොරගහහේන පිහිටි නිවස ඊයේ සවස වැටලූහ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම මෙහෙයුමට එක්ව සිටි අතර එහි සිටි සනා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ 24 හැවිරිදි මස්සිනා අත්අඩංගුවට ගැනීමට හැකි විය.
සනාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ ඔහුගේ මස්සිනා බව හෙළිකරගත් වලානේ දූෂණ මර්දන බළකායේ නිලධාරීහු ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 8 ක් සොයා ගත්හ. මෙම සැකකරු රුපියල් කෝටි 2 කට අධික වටිනාකමෙන් යුත් අතිසුඛෝපභෝගී මෝටර් රථයක් පාවිච්චි කරන අතර එම රථයද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ සනා ඩුබායි රාජ්‍යයේ සිටිමින් මෙරටට එවන හෙරොයින් තොග ගබඩා කරන්නේ කොහුවල ප්‍රදේශයේ කුලී නිවසක බවයි.
පසුව වලාන දූෂණ මර්දන බළකායේ නිලධාරීන් කොහුවල පිහිටි නිවස වැටලූ අතර එහි තිබී හෙරොයින් ග්‍රෑම් 300 ක් සමඟ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීති විරෝධී වත්කම් සහ දේපළ විමර්ශනය කිරීමේ ඒකකය හරහා විමර්ශනය කර රජයට පවරා ගැනීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පැවැසීය.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 07 රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ක්‍රියාත්මක කර තිබෙන ‘යුක්තිය’ මෙහෙයුම යටතේ මෙම වැටලීම කර තිබිණි.
වලාන දූෂණ මර්දන බළකායේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, පොලිස් පරීක්ෂක ජනිත කුමාර, උප පොලිස් පරීක්ෂක සඳරුවන්, රත්නායක ජයලත්, සැරයන් (428) ජයලාල් (67237) ප්‍රේමරත්න, කොස්තාපල් (77090) බාලසූරිය, (84889) උදය කුමාර, (89059) පෙරේරා, (29823) පෙරේරා, (93681) ජයසේකර, (104643) සේනාරත්න, (940009) සියන්ත, (104679) නෙරංජන්, (91287) සංජීව, (104678) කුමාර, කාන්තා කොස්තාපල් (11352) දිල්හාරා, (13022) මෙලනි (11919) අජිත් (89631) අබේරත්න යන නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.
(හේමන්ත රන්දුණු, සුමිත් පොතුපිටිය – දිවයින)

