මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකු වන අයෙකු සහ ඔහුගේ සහයකයෙකු වැල්ලම්පිටිය, කොහිලවත්ත දෙමහල් නිවසක නීති විරෝධී මත්පැන් පෙරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ මේ දිනවල දිවයින පුරා සිදුකරන යුක්තියේ මෙහෙයුමට අදාලව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට කොහිලවත්ත ප්රදේශ වාසීන්ගෙන් ලද රහසිගත තොරතුරකට අනුව මෙම නිවස වටල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි ඔවුන් සඳහන් කළේ.
එහිදී සැකකරුවන් විසින් පෙරන ලද නීති විරෝධී මත්පැන් ස්පීත්තු මිලි ලීටර් 22500ක්, බැරල් 04ක බහා තිබූ ගෝඩා මිලි ලිටර් 756,000ක්, අඩි 26 ක් දිග රබර් නලයක් සවි කරන ලද තඹ දඟරයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
74 වැනි වියේ පසුවන සාම විනිසුරුවරයා, වයස අවුරුදු 52ක් වන තවත් පුද්ගලයෙකු සමඟ එක්ව දෙමහල් නිවසට යාබද කාමරයක ඉතා රහසිගතව කාලයක් තිස්සේ මෙම නීති විරෝධීව පෙරූ මත්පැන් තෝරාගත් කීප දෙනෙකුට පමණක් ලබාදී ප්රදේශ රැසකට බෙදා හැර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

