වළගම්බා රජුගේ මැණික් පෙට්ටියක් ලබාගැනීමේ අරමුණින් ගලේවෙල පුවක්පිටිය වේරගලවත්ත ප්‍රදේශයේ නිවාස දෙකක බිම හාරා කැණීම් කරමින් සිටි කාන්තාවත් සහ පිරිමි පුද්ගලයන් හතර දෙනකු සැකපිට පසුගියද අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය පවසනවා.
ඔවුන් පොලිස් කණ්ඩායම එම ස්ථානයට යන විටත් විදුලි ආලෝක දල්වාගෙන නිවස තුළින් අඩි විස්සක පමණ ගැඹුරු වළක් හාරා නිවස ඇතුළේ සිට විශාල දුර ප්‍රමාණයක් දෝනාවක් හාරමින් සිට තිබෙනවා.
නිවෙස් හිමි කාන්තාව අඳුනක් බලා ඔවුන්ගේම නිවාස දෙකක් තුළින් මහපොළොව යටින් වළගම්බා රජු තැන්පත් කළ මැණික් බහලූ පෙට්ටියක් ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟ එම පවුලේම පිරිස එක්ව කාලයක සිට මෙම කැණීම් සිදුකොට ඇති බවයි පැවසෙන්නේ.
මීට පෙර මෙම නිවස ආසන්නයේ ම ඔවුන්ගේම නිවසක මහපොළොව හාර පස් ඉවත් කොට එම ස්ථානය නැවත කොන්ක්‍රීට් දමා වසා දැමීම සිදුකොට නැවත වරක් ඔවුන්ගේම සතු මෙම නිවස ද ඒ ආකාරයෙන්ම විශාල වළක් හරහා දෝනාවක් දිගේ පස් ඉවත් කරමින් නිවස තුළ ඇති මහපොළොව යට ඇති කළුගල් බෝරදමා ඉවත් කොට ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
වැටලීම සිදුකළ පොලිස් කණ්ඩායමට මෙම ස්ථානයේ පුද පූජා පවත්වා කැණීම් සිදුකොට ඇති බව අනාවරණය කරගෙන ඇති අතර කැණීම් සඳහා උපයෝගී කරගත් භාණ්ඩ මෙන්ම පූජා භාණ්ඩ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

