Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

3 years ago

ජනාධිපතිවරයා විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින්, නීතීඥයන් දෙදෙනෙකු ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

අමිල එගොඩමහවත්ත සහ මනෝජ් නානායක්කාර යන නීතීඥයන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පසුගිය දෙසැම්බර් 14 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට අනුව, ඔහුට පොලිස් සේවයේ කිසිදු උසස්වීමක් ලැබීමට වරම් නැති බව පෙත්සම් කරුවන් පෙන්වා දෙනවා.

අත්අඩංගුවේ පසු වූ පුද්ගලයෙකුට වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව තීන්දුවක් ලබා දුන් අතර, ඔහුට එරෙහිව අවශ්‍ය විනය පියවර ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබුණා.

ඒ අනුව, මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, දැනට වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙසට නියෝග කරන් ලෙස පෙත්සම් කරුවන් ඉල්ලා සිටිනවා.