කහවත්ත, වෙලේවත්ත ප්‍රදේශයේ සිදු වූ 71 හැවිරිදි කාන්තාවගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් ඇයගේ දියණිය එම ඝාතනයට සම්බන්ධයක් නොමැති බවට අනාවරණය වී තිබේ.
අදාළ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් වෙනත් පුද්ගලයෙකු පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් කහවත්ත පොලීසිය සඳහන් කර ඇත්තේ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මරණකාරියගේ දියණිය ඊට සම්බන්ධ නොමැති බැවින් ඇය නිදහස් කරන ලෙසයි.
ඒ අනුව ඇය නිදහස් කළ පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අනෙක් සැකකරු ලබන මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීම සිදු වූයේ විමර්ශණවල දී අසල්වැසියන් ලබාදුන් ප්‍රකාශ සහ කොටකෙතන කාන්තා ඝාතන රැල්ල ඇති වූවා මෙන් සමාජයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිමට ඉඩ තිබීම සහ එම තරුණියගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බව පොලීසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ සඳහන් කර ඇත.
සිද්ධියට අදාළව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි අයෙකු වන අතර, පෙදරේරුවෙකු වන ඔහු මියගිය කාන්තාවගේ නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගිය ජුනි මාසයේ පැමිණ තිබූ බව සඳහන් වේ.
එම අවස්ථාවේ නිවසේ තිබූ රන්භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් කාන්තාව විසින් සැකකරුගෙන් විමසා ඇති අතර, පසු ව රන් භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති ඔහු එම වටිනාකම මුදලින් ගෙවන බවට පොරොන්දු වී තිබේ.
කෙසේ වෙතත් පොරොන්දු වූ පරිදි මුදල් ලබා නොදීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කරන බව මියගිය කාන්තාව දුරකථනය ඔස්සේ සැකකරුට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඉන් පසු පසුගිය 13 වැනි දා සැකකරු කාන්තාවගේ නිවසට පැමිණ ඇති අතර, එහි දී දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් පසු මෙම ඝාතනය සිදු ව ඇති බවට කහවත්ත පොලීසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ කරුණු වාර්තා කර තිබේ.
ඝාතනය සඳහා යොදාගත් පිහිය ද පොලීසිය විසින් ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබිය දී සොයාගෙන ඇත.
මියගිය කාන්තාවගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරුණු අවස්ථාවට ද මෙම සැකකරු සහභාගී වී සිට ඇති බව වාර්තා වේ. (source -adaderana)

