මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියාව වැළදී මිය ගිය බවට වෛද්‍ය නිගමනය සහිතව ආදාහනය කරමින් තිබූ දේහයක් සම්බන්ධයෙන් ඥාතීන් සැක පහළ කිරීමේ හේතුවෙන් ආදාහනාගාරයේ දැවෙමින් තිබූ මළසිරුර වැඩිදුර පරීක්ෂණයක් සඳහා වතුපිටිවල මූලික රෝහලට ගෙන ගිය බව මීරිගම පොලිසිය පවසනවා .
මෙසේ මියගොස් ඇත්තේ මීරිගම සෙත් සෙවන වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ආර්. ඩී.සිරිසෝමා රණසිංහ 81 නමැති කාන්තාවක්.
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන මෙම කාන්තාව ඇගේ සමීප ඥාතියකු විසින් මාස හය හතකට පමන පෙර දී වැඩිහිටි නිවාසයට භාරදී තිබෙන බවපොලිසිය සඳහන් කළා .
නේවාසිකව වැඩිහිටි නිවාසයේ කාලය ගත කරමින් සිටි කාන්තාව රෝගාතුර වීමෙන් පසු මීරිගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මරණයට පත් වු බව බාරකරුට දැනුම් දීමෙන් පසු ඔවුන් නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශයේ මල්ශාලාවක මාර්ගයෙන් දේහය ආදාහනය කිරීමට කටයුතු කර තිබු බවයි.
පසුව මියගිය කාන්තාවගේ ඥාතියකු මෙම මරණය සැක සහිත බවට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත කළ පැමිණිල්ලක් අනුව වැඩිදුර පරීක්ෂණයක් කිරීමට පොලිසිය පියවර තිබෙනවා.

