Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රියදුරුගේ ෆේස්බුක් පෝස්ට් එකක් නිසා සනත් නිශාන්තගේ රිය අනතුර ගැන සැකයක්! රියදුරුගේ දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගනී!

3 years ago

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරණය කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් මේ වනවිට ඔහුගේ රියදුරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබෙනවා.

ආරච්චිකට්ටුව, කැලේගම පදිංචි සුරියහෙට්ටි අධිකාරී මුදියන්සේලාගේ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැති මෙම රියදුරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන විසින් නියෝග කර තිබුණා.

අනතුරින් සුලු තුවාල ලැබු සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ඔහු ගමන්ගත් ජීප් රථය පැදවු ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රාගම රෝහලේ 39 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අත්අඩංගුවට ගත් ඔහු ලබන පෙබරවාරි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු මෙම අනතුරට පෙර දිනයේ සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පල කර තිබූ සටහනක් කෙරෙහි ඇතැම් දෙනාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා.

“හෙට වෙනකොට මගේ නමට යටින් ලස්සන ෆොටෝ එකක් වැටිලා නමට උඩින් අමාමහ නිවන් සුව කියලා තිබ්බොත්. උඹලාට හිතෙන දේ කියන් යමන්. මැරෙන්න කලින් මම ඒ ටික කියවන්න හරි ආසයි” යනුවෙන් එම සටහන පළකර තිබුණා.

අනතුරට පෙරදා සිය සමාජ මාධ්‍ය ගිණුමක පළ කර තිබූ මෙම සටහන පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි සැකයට මේවන විට හේතු වී තිබෙන බව ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා.

රියදුරා වශයෙන් කටයුතු කළ ආරච්චිකට්ටුව කැලේගම පදිංචි සුරියහෙට්ටි අධිකාරී මුදියන්සේලාගේ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා පොලීසියට දක්වා ඇති කරුණු අනුව ඔහු මීට වසර 10ක පමණ සිට සනත් නිශාන්ත මහතා යටතේ රාජකාරී කළ අයෙක්.

“අපි හලාවත වෙඩින් එක ඉවර වෙලා කොළඹ එමින් ගමන් හිටියේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහිං හිටියේ. මම හයිවේ එකේ අපිට ඉස්සරහින් ගිය කන්ටේනර් එක ඉස්සර කරන්න උත්සාහ කළා. එතකොටම මම දැක්කා පිටිපස්සෙන් තව කාර් එකක් එනවා. ඒ නිසා මම අපේ වාහනය වම් පැත්තට ගන්න හදනකොටම ජීප් එක කොන්ට්‍රෝල් නැතුව ගිහිං කන්ටේනර් එකේ වැදුණා. ඊට පස්සේ ජීප් එක වැටේ හැප්පිලා නතර වුණා” යි ඔහු පවසා තිබුණා.

අනතුරට පත් රථයේ වේගය සම්බන්ධයෙන් කටුනායක අධිවේග මාර්ග රථවාහන පොලිසියෙන් කළ විමසීමක දී එහි නිලධාරින් පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ රථය පැයට කිලෝමීටර් 138 ඉක්මවන වේගයකින් ධාවනය කර තිබූ බවයි.

මේ අතර අනතුර සිදුවන අවස්ථාවේදී රියැදුරු මත්පැන් පානය කර සිටියේද යන්න සොයා බැලීම සඳහා කටුනායක අධිවේග මාර්ග රථවාහන පොලීසිය අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් ඉල්ලීමක්ද කර ඇති අතර එම වාර්තාව ඉදිරි සතිය තුළදී ලැබීමට නියමිත බව පොලීසිය පවසනවා.

මේ වනවිට රියදුරුගේ ජංගම දුරකථනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

අදාළ අනතුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුත්තක් සඳහා යි විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් මෙසේ එම දුරකථනය සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. (Source – a5 news)