Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දින 8ක් වයසැති බිළිඳා සැකසහිත ලෙස මරුට! මව රටින් පනී!

3 years ago

තම කුසින් බිහිකළ බිලිඳා නොමේරූ ළදරු ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සිටින මොහොතක, බිලිඳා අතහැර දමා විදෙස් රටකට පළාගිය මවක් පිළිබඳ පුවතක් පොල්ගහවෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පොලිසිය සඳහන් කළේ එම බිලිඳා දින 8ක් ජීවත්ව සිට පසුව මියගොස් ඇති බවයි.

මෙලෙස මියගිය බිලිඳගේ මව මල්බෙරි වත්ත, කෙහෙල් වතුගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක්.

ඇය පසුගිය වසරේ නොවැම්බර් මස පොල්ගහවෙල ගොඩකවෙල උසාවිය පාරේ පිහිටි නිවසක කුලීපදනම මත ගත් කාමරයක පදිංචිව සිට තිබෙනවා.

ඇය එම ප්‍රදේශයේම පිහිටි හෝටලයක සේවය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලීසිය සඳහන් කළේ පසුගිය වසරේ දෙසැම්බර් 18 වැනිදා දරු ප්‍රසූතියක් සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ 72 වැනි වාට්ටුවට ඇතුළු වී ඇති බවයි.

ඇය එදින රාත්‍රියේ පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇති අතර, අඩු බර දරු උපතක් හේතුවෙන් බිලිඳ රෝහලේම නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ බිලිඳා එහි ප්‍රතිකාර ලබන අතරතුර දෙසැම්බර් 22 වැනිදා මව රෝහලෙන් පළාගොස් එදිනම සවස ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බවයි.

ඇයව රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ඇය සේවය කළ හෝටලයේ හිමිකරු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසියට පැමිණෙන ලෙසට ඔහුට දන්වා සිටියදීත් ඔහු ද ජනවාරි 17 වැනිදා ඩුබායි රාජ්‍යයට පිටව ගොස් අති බව විමර්ශනවලදී හෙළිවුණා.

ඒ අතරතුර රෝහලේ සිටි බිලිඳා උපතින් දින 8කට පසු එනම් දෙසැම්බර් 27 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම කාන්තාව සහ දරුවාගේ පියා ලෙස සැක කෙරෙන අදාළ පුද්ගලයා එක්ව යම් ආකාරයක ගබ්සාවක් කිරිමට උත්සාහ කර ඇති බවට කරුණු අනාවරණය වෙමින් පවතින බවයි.

වීසා ලබා ගැනීම සහ විදෙස්ගත වීම පෙර සූදානමක් ඇතිව සැලසුම් කර ඇති බව ද එහිදී හෙළි වී තිබෙනවා.

බිලිඳාගේ මරණයේ මහේස්ත්‍රත් පරීක්ෂණය ඊයේ සිදුකර ඇති අතර ලබන 30 වැනිදා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි. (source – hiru news)