Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගම් කිහිපයකට උණ ගැනෙන විදුලි බිලක්

3 years ago

අම්පාර විදුලි අධිකාරි කලාපයේ ගම්මාන කිහිපයකට මාස දෙකක විදුලි බිල එකවර ලබා දීමෙන් එම නිවැසියන් ගැටලුවකට මුහුණ දී තිබෙන බවට වාර්තා වනවා.

මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරන්තලාව, පියාසරගම, පොකුරුගම, බොරපොළ, සමගිපුර, වැවපාර, අකුල්ඔබ ඇතුළු ගම්මාන කිහිපයක නිවෙස්වලට දෙසැම්බර් විදුලි බිල වෙනුවට ජනවාරි මාසයේදී අධික විදුලි බිලක් ලැබී තිබෙනවා.

එම ප්‍රදේශය ආවරණය කරන විදුලි මනු කියවන නිලධාරියා අසනීප වී මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන් දෙසැම්බර් සහ ජනවාරි මාසයේදී නිවෙස්වලට මනු කියවන නිලධාරියෙකු පැමිණීමෙන් තොරව මෙසේ විදුලි බිල් ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.

නිවෙස්වල විදුලි මීටර් පරීක්ෂාවකින් තොරව විදුලි ඒකක ප්‍රමාණය මෙසේ ගණනය කර අධික විදුලි බිලක් ලබා දීමෙන් දුෂ්කරතා රාශියක් මධ්‍යයේ ගොවිතැනින් ජීවත්වන තමන්ට එවැනි මුදලක් ගෙවාගත නොහැකි බවට ගම්වාසින් විසින් චෝදනා කරනවා.

ඒකක 15ක් පරිභෝජනය කළ නිවෙස්වලට ඒකක 74ක් පරිභෝජනය කළ බව දක්වමින් දුරකතනයට කෙටි පණිවුඩයක් ලබා දී තිබෙන බවත් මෙම ගැටලුවට ජනාධිපතිවරයා, විදුලි බල ඇමතිවරයා ඇතුළු වගකිවයුතු සියලු පාර්ශව මැදිහත්ව සාධාරණ විසඳුමක් ලබා දිය යුතු බව ගම්වාසින් පවසනවා.

අම්පාර විදුලි අධිකාරිවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කළේ, මෙම ගැටලුවට මුහුණ දී තිබෙන ගම්මානවල විදුලි මීටර් මනු කියවන නිලධාරියා මාසයකට වැඩි කාලයක් නියුමෝනියාව රෝගය සෑදී මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබාගෙන තිබූ බවත් ඔහු මෙම කාරණය විදුලි අධිකාරි කාර්යාලයට දැනුම් දී තිබූ බවයි.

එසේ ම ගැටලුවලට මුහුණ දී සිටින ප්‍රදේශයේ නිවෙස්වලට දෙසැම්බර් මාසය තුළ නිලධාරියෙකු යොදා දත්ත ලබාගැනීමට නොහැකි වූ බව ද විදුලි අධිකාරිවරයා පවසනවා.

මෙවැනි අවස්ථාවකදී වෙනත් නිලධාරියෙකු එම රාජකාරියට යෙදවිය යුතු නමුත් දෙසැම්බර් මාසය තුළ අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වෙනත් නිලධාරියෙකු ක්ෂේත්‍රයේ රාජකාරිවලට යෙදවීමට නොහැකි වූ බවත් පෙර මාසවල පරිභෝජනය කළ ඒකක ප්‍රමාණය සැලකිල්ලට ගත් බවත් යම් නිවැසියෙකුට විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකිව විදුලිය විසන්ධි කිරීමකට මුහුණ දීමට සිදුවුවහොත් සහනයක් ලබා දෙන බවත් විදුලි අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

විදුලි අධිකාරිවරයා පවසා සිටියේ මෙම නිවැසියන්ට අම්පාර විදුලි අධිකාරි කාර්යාලයට හෝ විදුලි මනු කියවන නිලධාරියා අමතා සිය ගැටලුව ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බවයි.