Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් නිළධාරීන් තිදෙනෙක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ඉදිරියේ දණින් වැටී සමාව ගනී

3 years ago

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 87ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගෙන තිබෙනවා.

ඒ ඔවුන්ට එරෙහිව විභාග වූ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුවත් සමඟයි.

විජිත් කේ මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම නඩුව ඊයේ (15) විභාගයට ගැණුනා.

ගොඩ්වින් පෙරේරා නම් 80 හැවිරිදි පුරවැසියකු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම 2017 වසරේ දී ගොනු කර තිබුණා.

2017 වසරේදී ගොඩ්වින් පෙරේරා මහතා නාරාහේන්පිට ආසිරි රෝහල වෙත යමින් සිටියදී මාර්ගයේ කුණු ඉවත් කරන පුද්ගලයකු අනතුරකට පත්ව සිටි ඒ පිළිබදව පොලිසියට දැනුම් දී එම පුද්ගලයාව රෝහල් ගත කර තිබෙනවා.

පසුව වගඋත්තරකාර පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනා මෙම ගොඩ්වින් පෙරේරාවම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන නාරාහේන්පිට පොලිස් සිරමැදිරියට දැමූ බව පෙත්සමේ සඳහන් වනවා.

ඉන් අනතුරුව නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමෙන් සහ රඳවා තබා ගැනීමෙන් අගතියට පත්වූ පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුමේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

කෙසේ වෙතත් වගඋත්තරකරුවන් සමග සමාදානයකට එළැඹීමට පෙත්සම්කාර ගොඩ්වින් පෙරේරා මහතා එකඟවීම මත අද එම එකඟත්වය විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුව කැඳවා තිබුණා.

වගඋත්තරකරුවන් සමග සමාදානවීමට එකඟදැයි අධිකරණය පෙත්සම්කරුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු ඊට සිය එකඟතාවය පලකර තිබෙනවා.

වගඋත්තරකාර පොලිස් නිලධාරීන් තිදෙනා ඇමතූ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා මින් ඉදිරියට මෙවැනි අකටයුතුකම් සිදු නොකරන ලෙස පොලිස් නිලධාරීන්ට අවවාද කළා.

රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට නිදහසේ කටයුතු කිරීමට අයිතියක් ඇති බව නොදන්නේදැයි විමසූ විනිසුරුවරයා ජ්‍යෙෂ්ඨ පුරවැසිකුට සලකන්නේ මෙලෙසදැයි මෙම පොලිස් නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රශ්න කර සිටියා.

නඩුව සමතවීමට පෙත්සම්කරු එකඟවීම නිසා මෙලෙස අවසන් කරන බව සදහන් කළ අධිකරණය එසේ නොවුනේ නම් පෙත්සම්කරුගේ වයසද සලකා විශාල වන්දියක් ගෙවීමට නිලධාරීන්ට සිදුවීමට ඉඩ තිබුණු බව ද සඳහන් කළා.

ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් තිදෙනා වෙන් වශයෙන් පෙත්සම්කාර ගොඩ්වින් පෙරේරා මහතා ඉදිරිපිටට ගොස් දණ නමා වැඳ සමාව ලබාගත්තා. (source – news19)